Wednesday, November 1, 2017

ජයදොරිස්ගේ කලකම් ඵලදීම සහ වව්චර් මිටිය

කාලෙකට පස්සේ ආයෙත් බැංකුවේ කතාවක් කියන්නයි අද මගේ කල්පනාව. අපිට එදිනෙදා ජීවිතකාලය අතරතුර විවධාකාරයේ පුද්ගලයින් සමඟ සමාජයේදී රාජකාරීමය වශයෙන් සහ පුද්ගලික මට්ටමෙන් නිරන්තරයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමන් පිලිබදව අන්අයගේ සිත්සතන් තුල නොමැකෙන ලෙස මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් පිරිසක් තම ගතිගුණ නිසාම අන්අයට වහකඳුරු බවට පත්වී කාලයේ වැලිතලාවට හසුව මතකයෙන් ගිලිහීයයි. අද ලියන්නට යන පෝස්ටුව අමුතු පුද්ගලයෙකු සහ මා වටා සිදුවූ රසවත් සිදුවීම් කිහිපයක් වන අතර මෙම සිදුවීම් වලට දායක වූ පුද්ගලයා මේ වනවිට රාජකාරියේ නොමැති වුවත් එම පුද්ගලයින්ට අගෞරවයක් නොවනු පිණිස අන්වර්ථ නාමයක් යොදාගෙන ලියන්නට අදහස් කරමි. 
මෙතැන් සිට අපි ඔහුව ජයදෝරිස් නමින් හදුනවමු. ජයදෝරිස් උන්නැහේ මට හාහාපුරා කියලා මුණගැහෙන්නේ මගේ පලමුවන පත්වීම ලබා ලංකාවටම තෙල් බෙදන්නාවූ ස්ථානයට ආසන්න ශාඛාවට  ආගමනයත් සමගය. ඒ වර්ෂ දෙදහස් දහතුන වසරයි. මම පත්වීම් ලබා ජාතියේ මහා පහන් ටැබේ සේවයට ගොඩවූ සමයේදී එම ශාඛාවේ නිළබලය අනුව දෙවනියා ලෙස කටයුතු කලේ අද අපේ කථානායන වන ජයදෝරිස්ය. කෙටිකලකින් එවකට කළමණාකාරියවූ නාලනී මහත්මිය ජේෂ්ඨ කළමණාකාර තනතුරට උසස්වීමක් ලබා ගියපසු ශාඛාවේ කළමණාකරු බවට පත්වූයේ ජයදෝරිස් උන්නැහේය. 
වලිඟයක් හා අං තට්ටුවක් නොමැති වුවද පාද දෙකකින් ඇවිදින මහා වෘෂභ රාජයෙකු බදු ජයදෝරිස් මහතාට ජංගම ගිණුම් සහ ජංගම ගිණුම් හිමි ගණුදෙණු කරුවන් පෙන්නන්නට නොහැකිය නයා අඳුකොල දැක්කා මෙන්ය. අයිරා පහසුකම ජයදෝරිස්ගෙන් ලබාගන්නවාට වඩා ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීම පහසු බව ව්‍යාපාරික ප්‍රජාව අතර ප්‍රසිද්ධ රහසක් විය. සෑම ජංගම ගිණුමක් සදහාම අඟරු චෙක්පත් සටහන් කාඩ්පතක් ඇති අතර එහි චෙක්පත් දෙකකට වඩා අඟරු බව සටහන් වුවහොත් කිසිදු වග විභාගයකින් තොරවම එම ගිණුම අත්හිටුවා වසාදැමීම සිදුකරයි. බොහෝවිට එසේ අත්හිටුවා ඇති බව ගිණුම් හිමිකරු දැනගන්නේ තමා නිකුත් කල චෙක්පත් සදහා වෙනත් බැංකුවකින් ගෙවීම් ප්‍රතික්ශේප කලවිටකදීය. එවකට චෙක්පත් නික්ඛාශණ කටයුතු භාරව සිටියේ මමතුමාය. ගණුදෙණුකරුවන් අධික කෝපයෙන් යුතුව ඒ පිලිබදව විමසීමට එන්නේ මාවෙතටය. සත්‍ය කථාව මගෙන් දැනගන්නා
බොහෝමයක් ව්‍යාපාරික මහතුන් විසින් ජයදෝරිස්ගේ මියගිය මව්පියන්ගේ ගුණ ගයමින් පින්පෙත් අනුමෝදන් කරනුයේ මා ඉදිරිපිටදීය.

තම තනතුර පිලිබදව ඉතාමත් මහන්තත්වයකින් පෙලුණු ජයදෝරිස් හට තිබුන තවත් අසනීපයක් වූයේ වාඩිවීමට තිබූ පුටු පිලිබදව ඔහු දැරූ ආකල්පයයි. එනම් විධායක නිළධාරීන්ගේ පුටු යනුවෙන් ඔහු විසින්ම හදුන්වාගත් පුටුවල හිදගැනීම ඔහු විසින් තහනම් කර තිබුණි. මාද ඇතුලුව විධායක ශ්‍රේණියේ නිළධාරීන් සතර දෙනෙක් ශාඛාවේ සිටි අතර  සේවා කාලය අතින් ජේෂ්ඨවූ අතර කණිෂ්ටතම තැනැත්තා වූයේ මමතුමාය. ජේෂ්ඨත්වය නොසලකා හැරියහොත් සිවුදෙනාම විධායක නිළධාරී (Executive Officer) තනතුරේ කටයුතු කරන්නන් විය. 
රාජකීය උෂ්ණය සහිත පඩුපුල් අසුන


දිනක් පුහුණුවට පැමිණි ශිෂ්‍යාවක් ගණුදෙණුකරුවකුගේ කිසියම් කටයුත්තක් ඉටුකර දීමට රාජකීය උෂ්ණය සහිත පඩුපුල් ආසනයේ වාඩිවූවාය. එය දැකීමෙන් පරල වූ ජයදෝරිස් කළමණාකරුගේ වීදුරු කුටියේ සිට පැමිණ ගණුදෙණුකරුවන් ඉදිරිපිට ඇයට බැණවැදුණේ සිත්පිත් නැති පුද්ගලයෙකු ලෙසින්ය. ඇය හැඩූ කඳුලෙන්ද ගණුදෙණුකරුවන් ඉදිරිපිටදී නොකල වරදකට බැනීම නිසා ඇතිවූ ලැජ්ජාවෙන්ද මිරිකෙමින් සිටියදී, මෙවන් පිස්සු විකාර දැක තිත්ත වූ  මගේ ඉවසීමේ රතුකටුව පැන ගිය නිසා තමුසෙටත් මේ වයසේ ලමයි ඉන්නවා නේද? ලමයින්ට ඔහොම සලකන එක හරිදැයි ජයදෝරිස්ගෙන් ඇසුවෙමි. නොසිතූ අයෙකුගෙන් තමාට එල්ලවූ වදන්ද ගණුදෙණුකරුවන් කිහිපදෙනෙකුගෙන් එල්ලවූ බලවත් විරෝධයද හේතුවෙන් ජයදෝරිස් යලිත් තම කුටියට පසුබසින ලදී.

පසුව හඩමින් සිටි ඇයව ඒ අසල සිටි මාණ්ඩලික නිළධාරිණී කේතකී සමඟ උඩු මහලට යවා මම ඉවසා සිටියේ දිනයේ බැංකුව වසන වේලාව එලබෙන තුරුය. සවස්වරුවේ දෛනික සමාලෝචන වේලාවේදී  "ජයදෝරිස් මහත්තයා බලු වැඩ කරන්න එපා අයිසේ, ඔහේ මේ ලමයි බල්ලෝ බළල්ලු කියලද හිතාගෙන ඉන්නේ ඔය පුටුව ඔහේ යද්දී අරගෙන යනවාදැයි හිරන්ත අයියා ඇසුවේ මටත් පෙර ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් තිබූ නිසාය. එතැන් සිට මටත් හිරන්ත අයියාටත් පල නොකියා පලා බෙදන්නට ජයදෝරිස් කටයුතු කරන්නට විය. මගෙන් පලිගැනීමට ඔහු කලේ තවත් මළගිය ප්‍රාණකාරියක බදු මහත් වාතයක්වූ සිරියලතා මගේ ලොක්කී කර නික්ඛාශණ අංශයට එවන්නටය. ඇය නිසා සිදුවූ දෑ මීට පෙර ලියා ඇති බැවින් මෙහිදී කිසිවක් සදහන් නොකරමි. අපෙන් පලිගැනීම තම ප්‍රමුඛතම අරමුණ කරගත් ජයදෝරිස් මහතා සිරියලතාගේ නියමුවාද උපදේශකයාද මෙන්ම වධකයාද විය.

ගණුදෙණුකරුවන් තමාට සෑම විටම ගරු කල යුතුයැයි සිතාගෙන සිටි හෙතෙම හමුවීමට ගණුදෙණුකරුවන් බලා සිටින විට මට සිහිවන්නේ පාසලේ වැරැද්දක් කර විදුහලපති හමුවට යාමට සැරසී සිටින පාසල් සිසුන් පිරිසක් ලෙසිනි. කාලයක් ගතවන විට ආරක්ෂක අංශයේ සිටි බත්කන හරකෙකුගේ කේලම් හා ලණු වලදමින් සේවක මණ්ඩලයෙන් පලිගැනීමට පටන්ගත් අතර දිගු කාලීනව ශාඛාවේ ගිණුම් හිමියන් තම ගිණුම් පුද්ගලික බැංකු වෙත ගෙන ගියේ ගණුදෙණුකරුවන්ට එය තිත්ත වී ගිය නිසාය. මාහට ප්‍රධාන කාර්යාලයේ අන්තර්ජාතික මුල්‍ය දෙපාර්ථමේන්තුව වෙත ලද ස්ථානමාරුව මගෙන් පලිගැනීම සදහා සියදෝරිස් අනුමත නොකර සිටියේ අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කල කොහැකිය යන තුරුම්පුව යොදා ගනිමින්ය. මේ නිසා කලකිරීසිටි අප සියලුදෙනා මෙයින් ගැලවෙන උපායක් සොයමින් කල්ගත කලෙමු.
ජයදෝරිස් තෙමේහට කලකම් පලදුන්නේ කිසිවෙකුත් නොසිතූ නොවිරූ ලෙසින්ය. වර්ෂ අවසාන කාර්තුවේ මැද වාර්ෂික විගණන කටයුතු සදහා අභ්‍යන්තර විගණක කණ්ඩායම පැමිණීමට නියමිතව තිබූ දින උදෑසන මහා කලබලයකින් යුක්තව ජයදෝරිස් සහ චක්ගෝලයන් මොනවදෝ සොයමින් පසුවූ අතර සෑමකෙනෙකුගෙන්ම විමසා සිටියේ තම මේසය මත තිබු වව්චර් මිටිය දුටුවාද යන්නයි. එය පෙරදා තම මේසය මත තිබුණු බවත් දැන් එය ප්‍රාතූර්භූත වී ඇතිබවත් පවසා මුලු ශාඛාවම කණපිට හරවමින් සොයාබැලුවද එය හමුවුණේ නැත. අනෙකුත් දිනයන්ට අදාල වව්චර් මිටි සියල්ල පැවතුනද එක් දිනයකට අදාල මිටි දෙකම අතුරුදහන්ය. මේ සියලුම ජරමර අස්සේ ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නාක් මෙන් එදින දහවල වන විට වාර්ෂික විගණන කටයුතු සදහා අභ්‍යන්තර විගණක කණ්ඩායම පැමිණි අතර ඔහුන් විසින් එම වව්චර් මිටි අස්ථානගත වීම විශාල වරදක් සේ සලකා විශේෂයෙන් ඉහලට දන්වා සිටීම නිසා  ජයදෝරිස්ට පලාත් කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලද අතර  ජයදෝරිස්ගෙන් හිස්වූ තනතුරට පැමිණියේ අර්ථයේ පරිසමාප්ථියෙන්ම නියම මහත්මයෙකු වුද අප සියලුම දෙනා අදටත් හිසනමා ආචාර කරන්නා වු ප්‍රියන්ත මහතාය. තම සේවා කාලයේ අවසන් අඩවසර ගත කිරීමට පැමිණි හෙතෙම මානව දයාවෙන් යුක්තව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාහට පියෙකු තම දරුවන්ට රැකවරණය සලසන්නාක් මෙන් කටයුතු කල අතර අප හැරගිය  ගණුදෙණුකරුවන් යලි අපවෙත අද්දවා ගනිමින් ගණුදෙණුකරුවන්ගේ ප්‍රසාදයද දිනාගනිමින් කටයුතු කලේ ගණුදෙණුකරුවන් හීන්නූලෙන් පාලනය කලයුතු ආකාරය මැනවින් දන්නා අයෙකු නිසාය. 
කාලය කෙමෙන් කෙමෙන් ගෙවීයන අතරතුර ප්‍රියන්ත මහතා තම සේවා දිවිය අවසන් කර සමුඟත් පසුව යලිත් ජයදෝරිස් කලමණාකාර තනතුරට පත්ව එනවා දකින්නට අපි බොහෝදෙනෙක්ම එහි සිටියේ නැත.ඒවන විට අපි සිටියේ ජයදෝරිස් විසින් අනුමත නොකල ස්ථානමාරු ප්‍රියන්ත  මහතාගේ එක් පෑන් පහරින් ලබා ප්‍රධාන කාර්යාලය තුලය. කාලයාගේ ඇවෑමෙන් ජයදෝරිස් විශ්‍රාමයන බවට මානව සම්පත් අංශයෙන් ලද ආරංචිය අනුව අදාල දිනයේ පරණ තරහ මදකට අමතක කර ජයදෝරිස් උන්නැහේට ආයුබෝවන් කියන්නට මමත් හිරන්ත අයියාත් ගියේ  ජයදෝරිස් උන්නැහේ පුදුමයට පත්කරන්නට හැකි තෑග්ගක්ද අරගෙනය. එනම් ඊට වසරකට පමණ කලින් ජයදෝරිස්  මහතාගේ ආරක්ෂිත කාමරයේ මේසය උඩ තිබියදී හිටිහැටියේම අතුරුදහන්වී ගිය වව්චර් මිටිදෙකේ අවශේෂ ලේබලයයි. එය අප දෙදෙනාම එක්ව මිස්ටර් ජයදෝරිස් මෙන්න අපිව මතක් වෙන්නත් එක්ක පුංචි තෑග්ගක් කියා මේසය උඩට විසිකල අවස්ථාවේ  පිස්සු පූසා සහ පිරිවර දුටු  සාජන් මහත්මයා සේ ඇස්ගෙඩි දෙකත් ලොකු කරගෙන බොහොම පරාජිතයෙකු විලසින් අපි දෙස බලා සිට කතාකරන්නට කිහිපවිටක්ම උත්සහා කලත් කිසිදු හඩක් පිටුවූයේ නැතිය. සමහරවිට තමා පමණක් රැදී සිටින තැනෙන් අතුරුදහන්වූ වව්චර් මිටි අපේ අතට ආවේ කෙසේදැයි සිතුවා විය හැකිය. කෙසේ වුවත් තමන් තටු කපන්නට උත්සහා කරමින්ද බොරු වලවල් කපමින්ද සෙල්ලම් කලේ වැරදි පුද්ගලයින් සමගයැයි එදා ඔහුගේ ටිකිරි මොලයට වැටහෙන්නට ඇති බව මගේ විශ්වාසයයි.

පසු සටහන

  • යමෙකුට නිසි ගරුත්වය ලැබීමට නම් ඔහුද පෙරලා අන් සේවකයන් හට නිසි ගරුත්වය ලබාදිය යුතුමය. ජයදෝරිස් හට කෙලවූයේ තම ස්ථීර කාර්ය මණ්ඩලය අවිශ්වාස කොට අන්අයගේ කේලාම් බස් හිස් මුදුනෙන්ම පිලිගැණීම නිසාය. ඒසේ කේලාම් විශ්වාස නොකර සිටියානම් සහාය කළමණාකාර ශ්‍රේණියට උසස්වීමක් ලබාගෙනම විශ්‍රාම යාමට හැකියාව තිබුණි.
  • ජයදෝරිස්ගේ සමුගැනීමත් සමගම නැතිවූ වව්චර් මිටි තමුන් කලින් සිටි ස්ථානයටම වැඩමකල අතර යලි කිසිදු දිනයක අදාල රාක්ක වලින් අතුරුදහන් වූයේ නැත
  • ජයදෝරිස්ගේ මේසය මතින් වව්චර් මිටිය තාවකාලිකව අතුරුදහන්වී පිටතට පියබා ගිය ආකාරය දන්නේ සරම් දෙකක් සහ එක් කම්බායකුත් පමණක්මය. හදිසි අනතුරක් හඟවන ශාඛාවේ අනතුරු නලාව, රූපවාහීනී දුරස්ථපාලකය යැයි සිතා අත්වැරදීමකින් මහදවාලේ නාදකර පොලීසිය කැදවීමට තරම් මෙතුමා වරක පුංචිපහේ හපනෙකුද විය.                                                              

ඒ වඟත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ

Friday, October 6, 2017

දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක

පලමු කොටස
ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි ගුරුවරයෙක්
නමින් රංජිත් ප්‍රනාන්දු වෙච්ච මෙතුමා එවකට පාසලේ පැවති විශාලතම විද්‍යාගාරය භාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන අතරම පාසල් විනය පාලක මණ්ඩලයේ ප්‍රභල සාමාජිකයෙක්ද උනා. මට ඔහු මුණගැසුණේ සාමාන්‍යපෙල අධ්‍යණ කටයුතු පටන්ගත් සමයේදීය මක්නිසාදයත් අප පන්තියට විද්‍යාව විෂය සදහා පත්ව සිටි ගුරුවරයා රංජිත් මහතා වූ බැවිනි. අනෙකුත් පන්ති සදහා විද්‍යාගාරය ලබාදුන්නේ සතියකට එක් කාලපරිජේදයක් වුවද අපි වසර දෙකක්ම විද්‍යාව  කාලපරිජේදයන් ගත කලේ විද්‍යාගාරය තුලමය.
විෂය නිර්දේශයට අදාල සියලුම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කරන්නට ලැබුනේ අප පන්තියට පමණක්මය එම නිසා අනෙක් පන්තිවලට වඩා දැනුම අතින් ඉදිරියෙන් සිටින්නට අපට සිටින්නට හැකිවු බව පැවසිය යුතුමය. වර්ෂ අවසාන විභාග කටයුතු සදහා පාසලින් විද්‍යාව ප්‍රශ්ණපත්‍රය සකස් කරනු ලැබුවේ රංජිත් මහතා වන අතර සිසුන් රන්ජිත් මහතා සකස්කරන්නාවූ ප්‍රශ්ණපත්‍ර වලට පිලිතුරු සැපයීම යනු ලේසි දෙයක් නොව අමාරුම වීම නිසාය. තරමක් සාමකාමී ගුරුතුමෙකු වුවද ඉතාමත් කෝපයෙන් පහරදුන් අවස්ථාවක් මගේ මතකයේ ඇත. එනම් පැරෆින් තෙල් වල බහා තිබූ සෝඩියම් කැබැල්ලක් ගෙන අපේම පන්ති සගයෙකුගේ සාක්කුවට දමද්දීම මාට්ටු වීමයි. හයිකෝට් මට්ටමේ වැරැද්දක් වූ එය කලේ කවුදැයි ඉදිරිපත් නොවූ නිසාත් කිසිවෙකුත් පාවා නොදුන් නිසාත් රංජිත් සර්ගෙන් පෝරියල් වීදීමට සැමටම සිදුවිය. 
11 - A පන්තියේෙ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර ජොලිබර සෙට් එකකි. හිස් පීරියඩ් එකක් ආවොත් සෙට් එක පිටින් එකකෝ පිට්ටනියේය එසේ නැතහොත් මහා සංගීත සංදර්ශණයක් බවට පෙරලේ.  අල්ලපු පන්ති වලින් සද්දේ වැඩියි කියා ගුරුවරුන් කීවද ගනන් ගන්නේ නැත. සංගීතය අවසානයේ බයිලා ගායනයක් බවට පත්වේ. එසේ ගලා යන අතරතුර සංගීත ප්‍රසංගය බාල්දි වැටෙන අවස්ථාද නොතිබුනා නොවේය. මක්නිසාදයත් අපගේ සංගීත මිහිරියාව කෙමෙන් කෙමෙන් විද්‍යාගාරය දක්වාම පැතිරගොස් විද්‍යාගාරයේ වාසය කරනා රංජිත් ප්‍රනාන්දු මහාතාගේ සවන්පත් සිපගත් කල සිදුකරන්නාවූ හදිසි කඩාපැනීම් හේතුවෙනි. අනිත් ගුරුවරුන් වන පතිරත්න දයාරන්ජිත් ගුණතිලක වැන්නන් පහරදුන්නද රංජිත් මහතා කිසිම කලෙක අපේ බජව්කරුවන්ට දඩුවම් කලබවක් නම් මගේ මතකයේ නැත. ඔහු කලේ තදින් බැණ වැදීම පමණකි. ඔහුට කලාව පිලිබදව ඇල්මක් තිබූ බව මගේ හැගීමය මන්දයත් විවේක කාලයට විද්‍යාගාරයට එන රතුකුරුස ඒකකය භාරව සිටි චන්ද්‍රදාස සතරසිංහ හා සමන් ජයසේකර මහතුන් සමග ඉදහිට ගී ගයනු ඇසී තිබෙන නිසාය.
බොහෝ කාලයක් සිසුන් දැනුමින් පෝෂණ්‍ය කල මෙතුමා මේ වන විට විශ්‍රාම සුවයෙන් නිට්ටඹුව මාඉබුලේ පිහිටි සිය නිවසේ වෙසෙත්.

*******
එකල ගම්පහ නගරයේ සාමාන්‍යපෙල විද්‍යාව විෂය සදහා සිටි සාර්ථකම හා ජනප්‍රියතම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා වුයේ බණ්ඩාරවත්ත ගයා පෙදෙසෙහි විසූ තිලක් ගමගේ මහතාය. හය වසරෙන් ආරම්බකර එකොලහ වසරෙන් අවසන් වන ලෙස පන්ති පැවති අතර එක් ශේණියකට පන්ති තුනක් බැගින් වෙන්කර තිබුණි. මම අවසන් වන තුරුම සහභාගී වුයේ සෙනසුරාදා දින පැවැති පන්තියට වන අතර එහි සාමාජිකයන් තුන්සියයකට ආසන්න ගණනක් සිටිබව මගේ මතකයේ පවතී. 
පාසල් විෂය නිර්දේශයට පෙර අන්වීක්ෂය වැනි උපකරණ භාවිතා කිරීමටත් රසායන ද්‍රව්‍ය භාවිතා කර විවිධ පරීක්ෂණයන් සිදුකර සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමටත් ඉඩකඩ සැලසුනේ ඔහුගෙන් ලද මඟපෙන්වීම නිසාවෙනි. පන්තියට සහභාගී වන සිසුන්ට ගිරවුන් මෙන් විෂය කරුණු පමණක් නොව නිර්මාණ ශක්තියද වර්ධනය වනු පිණිසත් දැනුම පරීක්ෂා කරණු පිණිසද ක්‍රියාමාර්ග යොදා තිබිණි.වසරකට නියම කල නිර්මාණයන් ගණනක් නිමවා ඉදිරිපත් කිරීම අනිවාර්ය වූ අතර අපගේ පොත්පත් කලකට වරක් පරීක්ෂා කලේ රූපා අක්කාය.
පලමු වරට ඡන්දයක අත්දැකීම විදින්නට ලැබුනේද මෙහීදීය. එනම් පන්ති නායක හා පන්ති නායිකාව තෝරාගත්තේ සිසුන්ගේ ඡන්දයෙනි. නාමයෝජනා එකකට වඩා ලදහොත් රහස් ඡන්දයක් පවත්වයි. මැතිවරණ කොමසාරිස් වෙන කිසිවෙකුත් නොව ගමගේ සර්මය. මමද සහභාගී වු සෙනසුරාදා පන්තියේ වැඩිම වසර ගණනක් පන්ති නායකයා වූයේ චින්තන සොයුරාය ඔහු මගේ පාසල් පන්ති සඟයෙකි. සාමාන්‍යපෙල විභාගය පැවති වසරේ ඡන්දයෙන් ප්‍රතිවාදී අපේක්ෂකයාට ඇපත් නැති කරමින් ජයගත්තේ මම තුමායි. ප්‍රතිවාදියා වූ ජූඩ් මිලින්ද සොයුරාව පන්තියෙන් සමුගත් පසුව මට මුණගැසී නැත.

ලමා මානසිකත්වය පිලිබදව "ඔබේ දරුවා රජ කරවමු" වැනි ග්‍රන්ථයක්ද පලකර ඇති එතුමා ගත් කතුවරයෙක්ද වෙයි. දශක කිහිපයක් විශාල වූ සිසුන් ප්‍රමාණයකය දැණූම බෙදා දුන් තිලක් ගමගේ මහතා අද බණ්ඩාරවත්ත ගයා පෙදෙසේ වූ නිවසේ වෙසෙත්.
ජාත්‍යන්තර ගුරු දිනය සමරණ අද දිනයේ මගේ පැතුම ඉදිරි කාලය මම සදහන්කල ගුරුභවතුන් දෙදෙනා ඇතුලු සමස්ථ ගුරුවරුන් හට නිදුක් නීරෝගිමත්ව ගත කිරීමට හැකිවේවා යන්නයි.


පසු සටහන

  • වසර දෙකහමාරකට පෙර අරබන ලද මාගේ බ්ලොග් අඩවියේ අද මෙයත් සමගම සපුරාලන්නේ ලියා පලකරන ලද පනස්වන සටහනයි.
  • රංජිත් ප්‍රනාන්දු මහතාගේ ජායාරූප සපයා දුන්නේ අප විදුහලේම සංජීව සිරිවර්ධන සොයුරා විසිනි.

ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.......

Monday, August 28, 2017

දිසාපාමොක් මතක පලමු කොටස - විනය පාලක කතා වස්තුව හා සියවස පුස්ථකාලය

ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය  ලියන්න ටික කාලෙක ඉදලා ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින් දවස මගහැරුණා කියමුකෝ. ඒ හින්ද නියපොතු ටිකත් උල් කරගෙන පූසා ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. පූසා පොඩි පැටියා කාලේ ඉදලා උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන සැරෙන් සැරේ ලියන්න ඕනෑ කියලා හිතුනත් ජම්බුතුමා ගැන විතරයි ලියාගන්න පුලුවන් වුනේ. ගුරුවරුත් කොටස් දෙකකට බෙදන්න පුලුවන් එපාම කරපු සහ මතකයේ රැදුනු ලෙස. අද මම කියන්නේ මගේ මතකයේ රැදුනු ගුරුවරු දෙන්නෙක් ගැන.

මම මේ කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක් එවකට ප්‍රධාන විනය පාලක තනතුර පතිරත්න මහතා සමග හවුලේ දැරුවේ මෙතුමා තමයි. ජාතික හැදුණුම්පතේ සටහන් වෙච්චි ඇත්ත නම ප්‍රේමරත්න වුනත් මෙතුම ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ කක්කුට්ටා නමින්. ඉස්කෝලේ කොතනක වලියක් ගියත් කොයි තරම් චන්ඩියෙක් වුනත් කක්කුට්ටා එනවෝ කියල කිවුව ගමන් ගස් ගල් පෙරලගෙන දුවන්නේ අහුවුනොත් විදින්නට වෙන සංග්‍රහයේ රස දන්න හින්දමයි.
අපේ ඉස්කෝලෙට ඇතුල් වෙන්න ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ ප්‍රධාන පිවිසුම සහ ක්‍රීඩා පිටියෙන් ඇති පිවිසුම ලෙසින්. ප්‍රධාන පිවිසුමේ ශිෂ්‍ය නායකයින් සමග අනිවාර්යෙන්ම විනය මණ්ඩලය නියෝජනය කරමින්  මෙතුමා රැදී ඉන්නේ වැරැද්දක් කරලා එන වාසනාවන්තයෙක් එනකම්. කොණ්ඩ රැවුල් වවාගෙන නිල ඇදුම අනුමත ආකාරයෙන් නැතිව එන වැරදි කාරයෙක් කිසිම දවසක බේරිලා යන්නේ නෑ වගේම ඒ අයට වැරැද්දේ ප්‍රමාණය අනුව ක්ෂණික තෑගි වගේම සැනසිලි තෑගිත් මදිනොකියන්නම බෙදලා දෙන්නත් මෙතුමා පසුබට වෙන්නේ නෑ. 
මට ඔහුව ලගින් ඇසුරු කරන්නට ලැබුනේ උසස්පෙල පන්තිවලට ආවට පස්සේ. ගොඩක් අය හිතන්නේ වගේම මාත් ඇතුලුව හිතාගෙන හිටියේ ඔහු ඉතාමත් සැරපරුෂ අයෙකු ලෙසින් නමුත් ප්‍රේමරත්න සර් ඇවිදින ආර්ථික විද්‍යා දැනුම් ගබඩාවක් බව දන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි. බොහොමයක් වෙලාවට ඉතා දරදඬු පුද්ගලයෙක් විදියට පෙනුනට එතුමා තුළ ඉතා සුන්දර මනුස්සයෙක් ජීවත් වුණා. ඔහුගේ නිදහස් කාලපරිච්චේදයකදී අපි පන්තියට කතා කලත් ඒ හැමදාම ඇවිත් කුමක් හෝ නොදන්නා දෙයක් කියා දෙන්නට ඔහු කවදාවත් දෙපාරක් සිතුවේ නැහැ. 
ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම් මේ සිද්ධිය සිදුවුණේ X-Ban 2008 ප්‍රදර්ශනය පවත්වන්න ඉදිකිරීම් කරගෙන ගිය කාලවකවානුවේදී.
එ්කාලේ පාසලේ විනය නීති අනුව ජංගම දුරකථන පාසලට රැගෙන යන්න බැහැ. ඒත් අපේ නිර්මාණයට අදාළව අමුද්‍රව්‍ය හොයන්න යන්න වෙනත් කටයුතු වලට කණ්ඩායම් යද්දී ඒ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය පවත්වා ගන්න ඕන නිසාත් හදිසි පණිවිඩ දැනුම්දෙන්න පහසුව තකාත් මම මගේ ජංගම දුරකතනය හොරෙන් පාසලට අරගෙන ගියා ඒත් කවදාවත් ඒක මාට්ටු වුනේ නෑ. ඒත් එක දවසක් ඉදිකිරීම් කරගෙන යන අතරතුරදී මොකක් හරි දේකට ප්‍රේමරත්න සර් ඇවිල්ල මාත් එක්ක කතා කර කර හිටියා. සර්ත් එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් මගේ සාක්කුවේ උන්න ජංගමයා අඩන්න ගත්තා. මගේ දෙලොව රත්වුනේ අහුවුනා නම් ඇපත් නැති බඩුත් රාජසන්තක වෙන හයිකෝට් වැරැද්දක් හින්දා. ඒත් සර් එදා මට කිව්වේ කොල්ලෝ හොරෙන් අරගෙන ආවානම් ඕක හොරෙන්ම තියා ගනින් නැත්තම් විනය පාලකයා වුන මගේ පට්ටමේ තේරුම කියලා විතරමයි.


********

මම ඊලඟට කියන්න යන්නේ ඉස්කෝලෙ හිටපු තවත් වැදගත් චරිතයක් ගැන. අපේ ඉස්කෝලේ පුස්තකාල තුනක්  තිබුණා කනිෂ්ඨ පුස්තකාලය විද්‍යා අංශයේ පුස්තකාලය සහ සියවස සමරු පුස්තකාලය වශයෙන්. සියවස පුස්ථකාලය නමින් මේක හදුන්වන්නේ හිටපු කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වු ඊරියගොල්ල මහතාගේ සමයේදී පැවති සියවස අධ්‍යාපන ප්‍රදර්ශණය සිහිවීමට ඉදිකරන ලද්දක් නිසා. මම කියන සියවස පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය විදියට හිටියේ සුනේත්‍රා මහත්මිය. අනාදිමත් කාලෙක ඉඳලා ඇයගේ නම ප්‍රසිද්ධ වෙලා තිබුණේ කාලි අම්මා කියලා.
අප පාසලින් සමුගත් දා සුනේත්‍රා මහත්මිය සමගින් පුස්ථකාලයේදී

පුස්ථකා‍ලය පාලනය කරද්දී ඇය ඉතා දරදඬු නපුරු තැනැත්තියක් වුණත් ඉතා හොද මනුෂ්‍ය ගුණදම් හිතේ පැවති ගුරුවරියක් විදියට මගේ මතකයේ රැඳී තිබෙනවා. පුස්ථකාලේ ඇතුලේ කියවන දගලන කොල්ලන්ව කනෙන් අල්ලලා එලියට ඇදලා දාන්නත් ඇය දෙපාරක් හිතන්නේ නෑ.සියවස පුස්තකාලය කෙරවලේ අන්තිම මේසය හැමදාම අපිට වෙන්වෙලා තිබුනේ අපේ පුස්තකාලය උදේ ඉඳලා බදු අරගෙන හිටපු යාවජීව සාමාජිකයෝ හින්දා. පන්තියෙන් බෑග් තිබ්බ ගමන් දුවන් යන්නේ පුස්ථකාලෙට. සමහර වෙලාවට අපි කාටහරි පුස්ථකාලේ බලාගන්න කියලා දීලායන වෙලාවලුත් නොතිබුනා නෙවෙයි.
පුරා වසර දෙකක් අපිටම වෙන්කර තිබූ මේසය

උසස් පෙල විභාගය කිට්ටු වෙද්දී වරකට බැහැර දෙන්නේ එක පොතක් වුනත් අපි පොත් තුන හතර ගෙනාපු දවස් තිබුනා.ඇගේ මතකය කොතරම් හොඳයි ද කියනවා නම් ඇයට උදෑසන ඕනෑම මොහොතක ඕනෑම පොතක් නම කිවූ සැණින් එය තිබෙන ස්ථානය නිවැරදිව පැවසීමේ හැකියාව තිබුණා. කාලෙකට පස්සෙ මට මේ ගුරුවරු දෙන්න ගැනම මතක් වුනේ මේ ලගදී ප්‍රේමරත්න සර්ව ගම්පහ නගරයේදී කාලෙකට පස්සේ මුණගැහිලා කථාබස් කරපු හින්දා. මෑත කාලීන ඉතිහාසය තුල අප පාසලේ ස්වර්ණමය යුගය වෙච්ච හිටපු විදුහල්පති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන්ගේ පාලන කාලයෙන් පස්සේ පත්වෙලා අාපු කාඩ්බෝඩ් විදුහල්පති චරිතය හින්දා  ස්ථාන මාරු ලබපු ගුරුවරුන් අතරේ මේ ගුරුවරු දෙන්නත් ඇතුලත් වුනා.

පසු සටහන

  • මේ වෙද්දී ප්‍රේමරත්න සර් තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලින් විශ්‍රාම ලබා ඇති අතර සුනේත්‍රා මහත්මිය සිය ගුරු දිවියේ අවසාන මාස කිහිපය උඩුගම්පොල විදුහලක සේවය කරමින් සිටියි.
  • අද වන විට සියවස පුස්ථකාලය එහි නැති අතර එය කඩාබිද දමා විද්‍යාගාරයක් ගොඩනගා ඇත.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ....

Friday, July 28, 2017

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම -සුභා,ෆැෂන් ඩිසයින් සහ නික්මයාම

පළමු දිගහැරුම
දෙවන දිගහැරුම

තෙවන දිගහැරුම
ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. 

මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන චරිතයක් වූවේ එකල ප්‍රධාන වෛද්‍යතුමියයි. ඇයගේ කියුම් කෙරුම් මීට පෙර ලිපියක සදහන් කලත් මෙයද නොකියාම බැරිය. එක්තරා දිනෙක මා යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර සියඇල්ල නැරබීමට යාමේදී පය ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "ඈ දරුවෝ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද පුතේ කියාලාය". එය ඇසූ සියල්ලන්ගේම මුවට සිනහව නැගුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.
*******
එකල කටුබැද්දේ රාජකාරී කල කාලයේ මමද මල් කඩමින් කාලය ගත කල සමයක් වූ අතර එයට උපරිම නිදහස පැවති ස්ථානයක් ලෙස මෙය මම නොබියව ප්‍රකාශ කරමි. මගේ මල්කැඩීමේ සහායිකාවද එකල අපොස උසස්පෙලට මුහුණදී විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් පසුවූවාය. ඇයව සුභා ලෙසින් මම හදුන්වමි. එම වසරේ විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කල දිනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රැගෙන ආවේද පලමු වරට අන්තර්ජාලය මගින් අයදුම්පත යොමුකලේද මා විසිනි. 
දිවංගත අධ්‍යාපන අමාත්‍ය C.W.W කන්නංගර මැතිතුමාගේ සංකල්පයකට අනුව අරබන ලද පලමු මධ්‍ය විදුහල් පහෙන් එකක අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් සදහන් කර ඇති වියලි කලාපයේ දිස්ත්‍රික්කයකට අයත් නිසා ඇයගේ ඉසෙඩ් අගය ප්‍රමානවත් වූ අතර එවර අධ්‍යන වර්ෂය සදහා අවම කඩයිම් ලකුණු නිකුත් කලදා නිසකවම ඇය වඩාත් කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණවේදය පාඨමාලාවටම සුදුසුකම් ලබා ඇති බව දැන්වූවාය. මා හොදින් දන්නා මිතුරියක් එම පාඨමාලාවේම තෙවන වසරේ සිටි නිසා ඇය සුභාට අවශ්‍ය උදව් කිරීමට පොරොන්දු වූවාය.

කාලය ගත වන විට මා හට රාජකාරීමට වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවූ අතර තෙමසක් පමණ කටුබැද්දෙන් ඉවත්වී ප්‍රධාන කාර්යාලයේ සේවයට ගිය අතර තවත් මසක් අධ්‍යන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම නිවාඩු ලදිමි. ඒ අතරතුර එක්වරම ඇය වෙනස්වන්නට ගත්තේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. සමාජ ජාල වලින් මා අවහිර වන්නට වූ අතර කෙටි කලකින් දුරකතන අංක අවහිර වන්නටද විය. මා හට මෙය මහත් ප්‍රෙහේලිකාවක්වූ අතර කුමක් වූවාදැයි මම නොදනිමි. අදටත් ඇයට සිදුවූ දෙය පිලිබදව මම කල්පනා කරමි. ඇතිවූ කණස්සල්ල නිසා සතියක් පමණ නිවාඩු ගෙන නිවසට වී සිටියේ සිත්වේදනාව දැඩි වූ නිසාය. ඇය පිලිබදව මගේ දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා දැනසිටියේය ඒ දිනක් ඇයගේ ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සෙවීමට ගොස් සිටියදී පිටකොටුවේ මයුරා විදීයේදී අප මුණගැසීම නිසාය.
සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මුණගැසී කතා කරන්නට කිහිප වතාවක්ම උත්සහාකලත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇයට මගේ නමට ලබාදී තිබූ සිම්පතද මම අවලංගු කර දැමුවේ ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. අවසානයේ මිතුරන්ගේ අවවාද උපදෙස් නිසා හිත හදාගත් මම තීරණයකට ආවෙමි.එනම් තව දුරටත් මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ හිතට එකගව කටයුතු කල නොහැකි නිසා යලිත් ස්ථාන මාරු අයදුම්කර කලින් සිටි දෙපාර්ථමේන්තුව වෙත යලි එන්නටය. මා වෙනුවෙන් ක්‍රිෂාන් කටුබැද්දට පැමිණි නිසා එක් සිකුරාදාවක සියලු මතකයන් රදවාගෙන කටුබැද්දෙන් නික්ම ආවෙමි. 
*******
මේ සිදුවීමෙන් අඩ වසරකට පමණ පසු අප්‍රේල් මස පැවැති අධ්‍යාපනික ප්‍රදර්ශනය නැරබීමට ගිය අතරතුරදී යලි වතායක් මම ඇයව දුටු නමුත් නොදුටුවාක් මෙන් මම එතැනින් නික්ම ආවෙමි.


කජුකැලේට පායුපු හඳ ලස්සනයිද කියන්න
හොස්ටල් එකේ සිට බැලුවත් තිබුනේ එයයි පෙනෙන්න
නොදැනිම අමතක වුනානේ නුඔට ඒගැන සිතන්න
මතකයේ රැදි රැවක් අද සිටියා මොරටුවෙදී දකින්න

වහිනා කල සරසවියට කුඩය යටින් යැවෙන්න
මගේ තනියට ආපු නුඔත් දැන් නැහැනේ පෙනෙන්න
ලතා මඞුළු අත වැනුවම සිතුනද අත් හරින්න
මරු වැල් වල පැටලුන විටදි සිතුනද හැරිලා දුවන්න


පාසල් බිම අතහැරලා ගෙන්දගමේ පය ගසන්න
එන විට නුඹ බැලුවේ හොඳම තැනට බැඳෙන්න
අන් අය ගැන නොතකාලා ජීවිත ගොඩ නගන්න
පලමුව නුඹට දිගු කල දෑතට කෙලියා නේද රිදෙන්න



උබේ මතකය ගුලි කරලා බොල්ගොඩ ගඟේ ගිලෙන්න

දැම්මත් එය පාවෙලා අද කටුබැද්දේ තිබුන දකින්න

මා ලඟ කිසිවක් යලි නැත උඹ වෙනුවෙන් පුදන්න
ඉඩ දෙනවද උඹට හොද ටොක්කක් අනින්න


කටුබැද්දේ මතකය ගැන කියාගෙන පැමිණි කතා පෙල අනුව තවත් කතා කිහිපයක්යම ඉදිරිපත් කල යුතු වුවත් සිතට එකගව තවදුරටත් කටුබැද්දේ මතකය අවදිකිරීම සිත්වේදනා ගෙන දෙන්නක් බැවින් මේ ලිපියත් සමග කජුකැලය හරහා කටුබැද්ද මතක කතාමාලාවට තාවකාලික විරාමයක් තබමි. පසුකලක ඉතිරිය ඉදිරිපත් කිරීමට අදහස් කරගෙන සිටිමි. 

පසු සටහන

  • මෙහි එන චරිත නාමයන් සෑම විටම කල්පිත චරිතනාමයන්ම වන අතර සිද්ධීන් පමණක් සත්‍ය වෙයි.
  • මා හට අවශ්‍ය අධ්‍යන නිවාඩු හා කෙටි නිවාඩු කිසිදු විමසීමකින් තොරවම අනුමත කරදුන්නාවූද අකාලයේ දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත්වූ නැසීගිය ජේෂ්ඨ කලමණාකාර ජනක් මහතාවද ආදරයෙන් සිහිකරමි.


ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......


Friday, May 5, 2017

රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ

අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන්  මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍ර‍මාණවත් නොවූනිසාය.
දින හතෙන් දින දාහතරෙන් මෙන්ම එක් මාසයකින් උගන්වන නානාප්‍ර‍කාර පංති හා කඳවුරු දිවයින පුරා අරබමින් සිටි වකවානුව වූ නිසාත් හොද පන්තියක් සොයමින් සිටි අපිට ඔත්තුවක් ලැබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගෙනි. ස්ථානය නිවරදිව කියනවානම් කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩාපිටිය ඉදිරිපිට පිහිටා ඇති "Oxford Business Collage" නම් ආයතනයයි. 

අද මාතෘකාවට අදාල සොදුරු මිනිසා මට මුනගැසෙන්නේ එහිදීය.
ජයනාත් බණ්‌ඩාර නම්වූ ඔහු ඉතාමත් අපූරු ගුරුවරයෙකු විය. පාසල් සමය තුල අපහට ඉංග්‍රීසී භාෂාව වහ කදුරු බවට පත්වූයේ පාසල්වල විශය ඉගැන්වූ ගුරුවරුන් ඉගැන්වූ ඒකාකාරී රටාව නිසා බව අප සියලුදෙනාම විශ්වාස කරන්නාවූ කාරණාවකි. නමුත් නීරස හා අපහසු ඉංග්‍රීසි භාෂාවේ සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් ඔහු අපට ඉගැන්වූයේ භාෂාව පිලිබදව කිසිදු අප්‍රියතාවයක් අපතුල ඇතිවන්නට ඉඩක් නොතබමින්ය. තෙමසකට සැලසුම් කර තිබූ අප පාඨමාලාව තුල විසිදෙනෙකු පමණ සහබාගීවූ අතර නොවැලැක්විය හැකි කරුණුමත අමතර මාසයක් දක්වා දීර්ඝ කරන්නට සිදුවිය. මාසයක් පමණ ගතවන විට භාෂා දැනුම අප සැමගේ ඉහල ගියේ ඔහුගේ ඉගැන්වීමේ හැකියාවට පින්සිදු වන්නටය.

වීවේකී දිනක ගාලුමුවදොරදී


කටුබැද්ද ජයනාත් මහතාගේ නිවසේ

භාෂාවක් නිවරදිව ඉගෙන ගැනීමට කථනය,කියවීම,සවන්දීම හා ව්‍යාකරණ දැනුමද අවශ්‍යවන බවත් බොහෝ දෙනෙකු හට ඉංග්‍රීසි භාෂාව නොහැකි වන්නේ එය පාවිච්චියේදී වැරදීම් සිදුවේයැයි ඇති අනිසි බිය නිසා යැයි පැවසූ ඔහු ආයතනය තුලදී සිංහල බස භාවිතය තහනම් කරන ලදී. කොටින්ම කිවහොත් කැන්ටිමේ අංකල් බිස්නස් කලෙත් කඩු බසින් විමසුවොත් පමනි.

අවසාන දින ආයතනය ඉදිරිපිට

අද මාතෘකාවට අදාල කථාව ඇරබෙන්නේ මෙතැන් සිටය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජයනාත් බණ්‌ඩාර ලාංකීය නාට්‍ය වේදිකාව ජයගත් අපූර්ව රංගන ශිල්පියෙකි. 1989 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ දී උඩරට නැටුම් ඒකල ප්‍රථම ස්‌ථානය දිනා ගනිමින් මෙන්ම විද්‍යාලයේ නාට්‍ය අංශයේ කැපී පෙනෙන චරිතයක්‌ වෙමින්ද ජයනාත් බණ්‌ඩාර රංගාවතරණය සිදු විය.
1989 දී  "මිහිදුම් සිහින", "හෙට කළුවර නෑ" ආදී නාට්‍යවල මෙන්ම 1993 සරසවි නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වැනි සම්මාන දිනා ගනිමින් ඔහු තමන්ගේ රංගන ගමන් මඟ සනිටුහන් කළේය. 1999 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන හතක්‌ දිනාගත් තුමිඳු දොඩන්තැන්නගේ "අරුන්දතී" නාට්‍යයේ මනෝරාජ්ගේ චරිතය සදහා හොඳම නළුවා සම්මානයත් දිනා ගැනීමට සමත්විය. 

වර්ෂ 1999 දී දක්ෂයන් අතරිනුත් අතිදක්ෂයන්ට පමණක් දොරටු විවර වන  අසහාය නාට්‍යවේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකයේ පීරිස් සමරවික්‍ර‍ම මහතාට පසුව වැදි රජුගේ චරිතයටත්,
ඉන් අනතුරුව වර්ෂ 2001 දී "සිංහබාහු" නාට්‍යයේ දීර්ඝ කාලයක් සිංහයාට පණපෙවූ ජය ශ්‍රී චන්ද්‍ර‍ජිත් මහතාගෙන් පසුව සිංහයාගේ චරිතයටත් රංගන දායකත්වය ලබාදීමට තොරාගැනීමෙන් අනතුරුව ඔහුගේ රංගන ජීවිතයේ ස්‌වර්ණමය යුගය උදාවිය.

 

“ප්‍රේමයෙන් වැඩුයේ මෙපුතා නොවේ දෝ
ආන්තරායෙන් රැක ගෙන වනයේ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්
මානය බිඳ හැර ලන්නෙමි මෙවරා
දෙන්නෙමි දඬුවම් ඔළමොළ කමටා”


විටෙක තමන් පණ මෙන් ආරක්ෂා කල බිරිඳත් දියණියත් අහිමිවීමේ දුකද, තම පුතු තමන් මැරීමට පැමිණීම නිසා ඇතිවන කෝපයද , පියා සහ පුතු අතර ඇතිවන්නා වූ අවසන් ද්වන්ද සටන මැනවින් විදහා දක්වමින් හැගීම් ප්‍රකාශවන ආකාරයට සිංහබාහුහි සිංහයාගේ චරිතයට ප්‍රවිශ්ඨ වෙයි. තවත් විටක "සත්හට සෙත්දෙන ලෝක ශිවාකර භගවා පතනුන් ගෙන් සරණා" ලෙසින් ගායනා කරමින් තම දියණිය වන දුලා කුමරිය තක්සලාවේ දක්ෂතම සිසුවා වූ මනමේ කුමරුට විවාහ කරදෙන දිසාපාමොක් ඇදුරාගේ චරිතය පණ පොවන අතර, තවත් වරෙක ඔහු මනමේ නාටකයේම ගොරහැඩි දුෂ්ඨ වැදි රජුගේ චරිතයට පණපොවයි. එසේත් නැතිනම් ඊට හාත්පසින්ම වෙනස් බක්මහ අකුණු හි මුදලිතුමාගේ චරිතයට ප්‍ර‍විෂ්ඨ වෙයි. එසේ විවිධ විවිධ ශෛලීන්ගෙන් යුතු චරිත නිරූපනයට ඔහු මනා හැකියාවකින් යුක්තය. ඔහු දායකත්වය දෙන වෙනත් නාට්‍ය කිහිපයක් මෙසේයි

මනමේ - වැඳිරජු / දිසාපාමොක් ඇඳුරු
සිංහභාහු - සිංහයා
බක්මහ අකුණු - මුදළිතුමා
නරිබෑණා - ගමරාල / කපුවා
අරුන්දතී - මනෝරාජ්
දික්තල කාලගෝල - දික්පිටියා
හැමිලට්
රතු හැට්ටකාරි


පුංචි තිරයේ දී ඔහු දි. ග. සෝමපාලගේ "නිල්ල පෙනෙන මානයේ" ප්‍රධාන චරිතයටත්, ලක්‍ෂ්මන් විජේසේකරගේ "දඟයන්ට පමණයි" ටෙලි නාටකයේ ප්‍රධාන චරිතයටත් රංගන දායකත්වය ලබාදුන් ඔහු ස්‌වභාවික නාට්‍ය සම්ප්‍රදාය විෂයෙහිද තම ප්‍රතිභාව ප්‍රකට කළේය. හඬ කැවීම් ශිල්පියෙකු ලෙසද ටෙලි නාට්‍ය හා කාටුන් සඳහා සිරස ටී.වී., හිරු ටී.වී. වැනි නාලිකා හරහා ජයනාත් බණ්‌ඩාර තම හඬ අවදි කළේය. ජයනාත් බණ්ඩාරයන් මේ සියලු දේ කරන්නේ වෘත්තිමය වශයෙන් ඉංග්‍රීසි කථීකාචාර්යවරයකු විදියටත්,ටවර් හෝල් රඟහල පදනමේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත් කටයුතු කරන අතරතුරය. ඊට අමතරව ජාතික රූපවාහිනියේ රංග භූමි අධ්‍යාපනික වැඩසටහනේ පිටපත් රචකයකු හා කථිකයකු වශයෙන්ද ඔහු කටයුතු කරයි.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා! සිංහබා!! සිංහබා!!!

මා සොදුර! මා සොදුර !!මා සොදුර!!!

සිංහ සීවලී!  මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි- මම සැක කලෙමි
සිංහබා! සිංහබා!! සිංහබා!!
 

නමුත් කණගාටුවට කරුණ වන්නේ ජයනාත් බණ්ඩාරයන්ගේ රැගුම් මනමේ සිංහභාහු නාට්‍යයන් තුලින් යලිත් කිසිදා ප්‍රේක්ශකයන් හට දැක ගැනීමට තිබු අවස්තාව නොමැතිවීමයි. මක්නිසාදයත් ඔහු මේ වන විට මනමේ සිංහභාහු සරච්චන්ද්‍ර රඟමඩලෙන් සමුගැනීමට තීරණය කර ඇති නිසාවෙනි. නමුත් බක්මහ අකුණු හැමිලට් නරිබෑණා වැනි වේදිකා නාට්‍ය හරහා මෙන්ම මේ දිනවල විකාශය වන මුතකුඩ හා සල්සපුනා ටෙලි නාට්‍ය තුලින්ද ඔහුගේ රඟපෑම් දැකබලාගත හැකිය. තවත් චිරාත් කාලයක් සබේ රඟන්නටත් ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි. සිංහභාහු නාට්‍යයේ සමාප්ති ගීතයෙන් අද ලිපිය අවසන් කරමි.

"සසරේ යාත්‍රා සුවපත් වන්නට
නොබිදෙන්නට ජීවිත නෞකා
වේවා සැමටම සුභ මංගලම්"


ඒ වඟත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......

Saturday, April 29, 2017

සුභ ගමනක් වේවා තුමනි.....



වසර දෙකක බ්ලොග් කෙරුවාව ඇතුලතදී බ්ලොග් ලෝකයේදී හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මටත් බොහොම සුවිශේෂි පුද්ගලයෙක් බවට පත්වූනා. සැබෑ ජීවිතයේදී මට එතුමා මුණ ගැසුණේ සයිබර් සිහින උළෙලේදී අහඔුලෙසින්.


ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිආයුධ පදක්කම් පලදනා හමුදා නීතිය මෙන්ම පැරණි මෙහෙයුම් පිලිබද සාමාන්‍ය ස්ථානයකින් ලබාගත නොහැකි තොරතුරු කියවන්නන්ගේ සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සතුවූ හැකියාව ඉතා ඉහලමට්ටමක පැවතිබව නොරහසක්.





දවසක් නොමියෙන මිනිසුන් චිත්‍රපටිය බලද්දී අහම්බෙන් විචාරක වගේ කෙනෙක්ව දැක්ක හින්දා මම ඒ ගැන විමසලා දාපු කොමන්ටුවට විචාරක දාපු කොමන්ටුව තමයි ඉහලින් තියෙන්නේ. පස්සේ චිත්‍රපටිය රූගත කරද්දී වෙච්ච දේවල් ටිකක් එක්ක මේල් එකක් එවලා තිබ්බා. වෙනම පෝස්ටුවක් ඒ ගැන ලියන්න පොරොන්දුවක් දුන්නත් එය ලියා පලකරන්නට පෙර ඔහු නික්ම ගිහින්.



ඉක්මනින්ම යන්න වෙන බව ඒතුමා කලින් දැනගෙන හිටියද කියලත් වෙලාවකට හිතෙනවා අන්තිම පෝස්ට් වලට දාපු කොමන්ට්ස් දැක්කම


යලි මතු උපදින්නාවූ ආත්මයන්හීදී ඔබට මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී අවසානයේ උතුම්වූ නිර්වාන සුවයම අත්වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. එතෙක් ඔබ නින්දට පත්වන තුරාවට සියලු දේවතාවෝ ඔබ වෙනුවෙන් ගී ගයත්වා..
ඔබට සුවදායී රාත්‍රියක් වේවා තුමනි..........


අදත් මතකය  පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි............

Monday, April 10, 2017

දෙවසරක් පුරා ආ ගමන සොදුරුයි විශ්මයජනකයි

අදින් හරියටම මාස විසිහතරකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ දෙවනි වසර සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු හතලිස් පහකුත් සහ හිට් කවුන්ටරය පනස්දහසකට ආසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.

අද මේ දෙවසරක් ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරයේ පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා
  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක  
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා
  • මේ වන විට මද අසනීප තත්වයෙන් පෙලෙන අසමි දකිමි සොයමි විචාරක තුමා
  •  


එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.   

මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොදම බ්ලොග් නවකතාව තුන්වන ස්ථානය මා ලියූ නිර්සත්වයෝ කතාමාලවට හිමිවීම  සතුටක් මෙන්ම තවතවත් ලියන්නට උත්තේජනයක්ම විය. නිර්සත්වයෝ කතාමාලාව මගේ පුද්ගලික ජීවිතයේදී ලද අත්දැකීමක් ඇසුරින් ලියන ලද්දකි. අපාය පමණක් කල්පිතයක් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය බවට ආදේශ කලහොත් අනෙකුත් සියලුම ප්‍ර‍ධාන චරිත මෙන්ම අතුරු චරිත වල නම්ගම් සත්‍ය වන අතර ඔහුන් පුද්ගලයින් ලෙස ජීවමානව අදටත් සුවසේ වෙසෙත්.  
මේ කතාව පිලිබද සත්‍ය කතාව දන්නේ ඒ පිලිබදව විමසා සිටි ඩ්‍රැකී සීනියර් පමණි.

ඉහත සදහන් කල පිරිසට අමතරව නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා , කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය , අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි  නම් වශයෙන් සදහන් නොකල එකී නොකී සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......

අවසාන වශයෙන් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෑම සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යයෙන් සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා............



ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............