Wednesday, December 21, 2016

බැංකු දිවියේ සිතට දැනුන අනුවේදනීය අත්දැකීම් පලමු කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස්

වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.
රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍ර‍ශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි නිමවා ආපසු යන විට පමණක් මට මා ගැන මතකය අවධිවන තරමට වැඩ මා වසාගෙන ඇත. අද විස්තර කරන්නට යෙදෙන මේ සිදුවීම කලකට පෙර මම ණය අංශයේ පුහුණුවන නිළදාරියා ලෙස කොළඹට හූවක දුරින් පිහිටි ස්ථානයක සේවය කරමින් සිටියදී සිදුවූවකි. දිනක වැඩ ආරම්බකර සුලු මොහොතකින් මමත් මාණ්ඩලික සහකාර තේමියත් ණය ලිපිගොණු අතර අතරමං වී සිටි අතරතුර තරුණියන් දෙදෙනෙකු අප සිටි ස්ථානයට ඇතුල්විය.
"සර් මට පර්සනල් ලෝන් එකක් ගන්න ඕනේ මට නෙවෙයි නංගිට එයාගෙ වෙඩින් එකට"

නංගී මොකද කරන්නේ? කීයක් විතරද මිස් ගන්න බලාපොරොත්තු වෙන්නේ?

"එයා ජොබ් එකක් කරන්නේ නෑ සර් එයා කැළණිය යුනිවර්සිටි එකේ තර්ඩ් ඉයර්. ලක්ෂ පහක් විතර ගන්න තමයි බලන්නේ සර්. මටම ලෝන් එක ගන්න තිබුණා ඒත් මම දැනට එකක් අරන් තියෙන නිසා තමයි නංගිගේ නමින් ගන්නේ. අයියා දැනට රට ඉදලා සල්ලි එවන්නේ නංගිගේ ගිණුමට ඒකෙන් ණය වාරිකය කපා ගන්න පුලුවන්"

නංගි ජොබ් එකක් කරන්නෙත් නැතුව ලක්ෂ පහක් අරගෙන කොහොමද මිස් ගෙවන්නේ මාසෙකට 13500/- විතර ගෙවන්න වෙනවනේ. බැරිවෙලා හරි අයියා ලංකාවට ආවොත්?

"ඒ ආවත් අයියා එන්නේ නිවාඩුවටනේ සර් එයා දැන් අවුරුදු දහයක් තිස්සේ ඉදලා ඉන්නේ පිටරට. දැනටමත් එයා හතලිහක් පණහක් විතර එවනවනේ"

ලක්ෂ පහක්ම ඉල්ලන්නේ වෙඩින් එකටමද? "නංගිට දෙන්නයි වෙඩින් එකටයි දෙකටම සර්"
මට ලක්ෂ පහක්ම දෙනවා කියලා පොරොන්දු වෙන්න බැහැ. අයියගේ ආදායම සහතික කරන ලියවිලියි තියෙනවා නම් සේවා ගිවිසුමේ කොපියකුයි ඇප කාරයන්ගේ විස්තරයි අරගෙන එන්නකෝ අපි බලමු. මාස කිහිපයක් තිස්සේ කරවෙන්න පායන අව්ව හිතට ගතට මෙන්ම පරිසරයටද එකසේ බලපා ඇති සැටියකි. එය සාමාන්‍ය ජන ජීවිතයට කොතෙක් බලපෑමක් කර ඇත්දැයි ණය ඉල්ලාගෙන පැමිණෙන පිරිසෙන්ම පෙනේ කාළගුණයට කොතරම් දේ කල හැකිද?
අදින් වසර එකහමාරකට පෙර උකස් අංශයේ සිටින සමයේදී සිදුවූ දෙයක් සිහියට නැගේ

සර් මට මේක තියලා උපරිම ඕනේ. එවලේ ගැලවූ කරාබු ජෝඩුව හා මුද්දක් මා අත තබමින් ඇය පැවසුවාය. මේ මාසේ ඇද ගත්තේ නැත්තම් මහන්සිය ඔක්කොම ඉවරයි සර් අපේ කරුමෙට පායනවනේ වතුර දාන්න මෝටරේට භූමිතෙල් ගන්න තමයි සල්ලි ඕනේ සතියකට මෝටරේට විතරක් රුපියල් තුන්දාහක් විතර යනවා

"මේකට නම් උපරිමය දෙන්න පුලුවන් 8000/- වගේ තමා මිස්.
අයියෝ මම හිතුවේ පහලවක් වත් පුලුවන් වෙයි කියලා අඩුම 12000/- වත් බැරිද?"


මාගේ සහායක මා දෙස බලා දෙපසට හිස වනමින් නොහැකි බව හගවයි.
චක්‍රලේඛණ අණපණත් නීති සහ ආයතන සංග්‍ර‍හය අප වටකරගෙන අප දෙස විරිත්තමින් බලා සිටිනු පෙනෙයි. උපරිමය අටදාහ තමයි මිස්.



**********

"කොහොමද සර් මගේ වැඩේ අර විස්තර නම් ගන්න විදිහක් නෑ කියලා අයියා කිව්වා"

ලෝන් එක දෙන්න වෙන්නේ නංගිගේ නමටනේ මිස් එයා ජොබ් එකක් කරන්නෙත් නෑ ඒක හින්දා ලක්ෂ පහකට යන්න අමාරුයි. ලක්ෂ දෙකක් දෙන්නම් ගණුදෙණු කරලා තියෙන විදිහ ඇපකාරයෝ දිහා බලලා.

අයියෝ දෙකක් මදි සර් මම මැනේජර් එක්ක කතා කරන්නද? කිසි ප්‍ර‍ශ්ණයක් නෑ මිස් ගිහින් කතා කරන්න.
"සර් මට ඇප්ලිකේෂන් එක දෙන්න මැනේජර් කිව්වේත් දෙකක් තමයි. කමක් නෑ ඒකවත් ගන්නම්"
තත්පර විනාඩි පැය විදිහට ගෙවෙන කාලය තුල ලිපිගොණු අතර මම අතරමංවී ඇති සැටියකි
***********
මම දුන්න ලියවිලි ටික ආපහු ගන්න පුලුවන්ද සර් දැන් ලෝන් එක අරගෙන වැඩක් නෑ සර්...ඇයි වෙඩින් එක කලාද? 
නෑ සර්ලා හිතනවට වඩා ලෝකේ වෙනස් එයාලා සල්ලිම ඉල්ලනවා "ඉතින් ලෝන් එක හම්බවුනා නම් බොහෝදුරට වෙඩින් එක ගන්න තිබුණා. කමක් නෑ සර් අපි ගිහින් එන්නම්"

මම මට පිටුපා යන ඔහුන් දෙස බලා සිටියෙමි. රාජකාරීකාලයේදී මම මුහුණදුන් කණගාටුදායකම අවස්ථාවලින් එකක් එය විය. උදව් කිරීමට අපි තිදෙනාටම අවශ්‍ය වුවත් අයතන සංග්‍ර‍හය අණපණත් හා නානාප්‍ර‍කාර නීතිරීති මගින් අප සියලුදෙනාගේම සිත් හා දෑත් බන්ධනය කොට ඇත.

පසු සටහන

  • බොහෝවිට දෙදහස් දහසය වසර සදහා ලියවෙන මාගේ අවසාන පෝස්ටුව මෙයයි. ගෙවුන වසර දෙස යලිත් හැරී බැලුවහොත් සතුටත් දුකත් සමබරව විදින්නට ලද වසරක්ම විය. මගෙන් අනේක උදවුගෙන දැන් මා නොහදුනන තත්වයට පත්ව ඇති සොයුරියක් මොරටුව විශ්වවිද්‍යාලයේ වෙසෙත් ඒ පිලිබදව මතක්වන විට මහත්වූ ශෝකයක් දැනෙනමුත් සිටිනා තැනක සතුටින් අතුරු අන්තරාවකින් තොරව සිටීමට ලැබේවා යන්න මගේ පැතුමයි.
  • එසේම අවසාන වශයෙන් නත්තල සමරන කතෝලික සැමට සුභ නත්තලක්ද, බ්ලොග් අවකාශයේ සැරිසරන සියලුම දෙනාට ලබන්නා වූ දෙදහස් දාහත නව වසර ආයු වර්ණ සැප බල කීර්තිය හා යසසින් පිරි සියලු පැතුම් බලාපොරොත්තු පැතූලෙසින්ම ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා.........

ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ...............

Sunday, November 20, 2016

ඇස් රතු කල මඟඩි වරෙන්තුව

කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.
සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා පමණි. මේ සියලුම සුරංගනා කතාවන් හට මුල් උනේ සාමාන්‍යපෙල පන්තියේ අවසානම දින කිහිපයයි.මෙය සිදුවූයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය තුලය. එකල අනෙකුත් පන්ති සාමාන්‍ය ආකාරයට පැවතියද මේ පන්තිය පමණක් කලු කරන ලද වීදුරුවලින්ද එල්ලන ලද තිරරෙදි මගින් වටකර භාහිර ලෝකයෙන් වෙන්වූ අමුතුම බලකොටුවක ආකාරයෙන් පවත්වාගෙන ගිය එකක් විය.
සාමාන්‍යපෙල විභාගයට කෙමෙන් කෙමෙන් දින ආසන්න වෙත්ම මගඩි වැඩක් කරන්නට එක් සාමාජිකයෙකු හට අගනා අදහසක් පහලවූ අතර එයට ඉලක්කය වූයේ එම පන්තියේම සිටි ගල්පාත මහතාවය. ගල්පාත මහතාගේ කියුම් කෙරුම් අඩංගු කර දුකසේ චරිතය ඝාතනය තර සකසන ලද පෝස්ටරයක්(වරෙන්තුව) සහ හසුන්පතක් ඔහුගේ පුද්ගලික ලිපිනයට තැපැල් කර අනෙක් පිටපත පන්ති සගයන් අතර බෙදා හරින්නට මහමොලකරු වූ සුනඛ තෙමේ කටයුතු කරන ලදී.


පන්තියේ සගයන් අතර අතින් අත යමින් රසවින්ද මෙම මඩ පත්‍රිකාව තවත් චරිතයක් වූ මන්ද+ලාල් විසින් කල ක්‍රියාවක් හේතුකොට ගෙන පන්තිභාර ඇදුරා වන පාලින්ද මැතිදු අතට පත්වන්නට යෙදුනේය. පසුදිනක මෙවැනි මිතුරන් ඇසුරු නොකරන මෙන් එතුමා උපදෙස් දුන් බවද සුනඛ තෙමේ පැවසුවේය 

හොදම කතාව උදා වුනේ පසු දිනකය ගල්පාත මහතාගේ නිවසට යවන්නට සකස්කල පිටපතේ ලිපිනය සුනඛ තෙමේහට වැරදී එය ලැබී තිබුනේ අසල නිවසකටයි. වැරදීමකින් කඩා හසුන්පත කියවූ නිවැසියෝ ඉමහත් බියට පත්වී ගල්පාත මහතාගේ දෙමාපියන්හට දන්වා ඇති මුත් අද වෙනතුරු මෙය එව්ව මහමොළකරු කවුදැයි නිවැසියන් නොදන්නා බව මම විශ්වාස කරමි. මෙය සර්ව සම්පූර්ණ වන්නටනම් යවන ලද ලිපියේ පිටපතක්ද මෙයට එක්කලයුතු නමුත් ලිපිය ලද හා ලිපිය සකස්කල දෙදෙනා සතුවම මෙහි පිටපතක් මේවනවිට නැතිය.
පසු සටහන
  • මේ සිදුවීම හොදින්ම දන්නා උදවිය ඒ පිලිබදව ඇනෝ කොමන්ටුවක් ලෙස හෝ සටහන් කරන මෙන් ඇරයුම් කරන අතරම වතුර ටැංකිය යට කොල ටයිපටි ස්කෝලෙට යවනලද පිටපතත් එයට ලද පිලිතුරත් සදහන් කලාටද කමක් නැත.
  • කිසියම් දෙයක් සදහා අවශ්‍ය උනහොත් මන්දක් ගසා බල්ලා අල්ලා ගන්නා මෙන් කාරුණිකව කියවන්නා වූ උතුමන්ගෙන් ඉල්ලා සිටින අතර කොට්ටාව පැත්තට ගියානම් අල්ලා ගන්නට හැකි බව පමණක් සදහන් කරමි. 

ඒ වඟත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි........

Wednesday, September 21, 2016

පින් ඇති සරසවි වරමක් දෙන්නේ

අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා විවිධ පාඨමාලා අනූහතක් උදෙසා සිසු සිසුවියන් විසිහත්දහස් අසූවක්(27080) ඇතුලත් කර ගැනීමට සියලු කටයුතු මේවන විට සකස්කර අවසානය.
පලමු වරට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීම අනිවාර්ය කල පසුගිය වතාවේ මෙන්ම මම මෙවරද නිවස ආසන්නයේ පස්දෙනෙකුගේ පමණ අයදුම්පත්‍ අන්තර්ජාලය හරහා යොමු කරදීමට කටයුතු කලෙමි. නමුත් මෙවර එයින් සරසවි වරම් හිමිකර ගත්තේ එක් මානවකයෙකු පමණක් වන අතර මම හදුනාගත් පරිදි අනෙක් අය සිදුකර ගත් වැරදි කිහිපයක් මම පහතින් සටහන් කරමි.

(01) මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1.4353 ක ඉසෙඩ් අගයක් සහිත වාණිජ අංශයේ සමත් එක් සහෝදරයෙකු වාණිජ පාඨමාලාවට ඇතුලත් කලේ කොළඹ ජයවර්ධනපුර කැළණිය යන විශ්වවිද්‍යාල පමණි.
ප්‍ර‍ථිපල සටහන
කඩයිම් ලකුණු නිකුත් වූ පසු

මේ සදහා වයඹ විශ්වවිද්‍යාලයත් යාපනය විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරගන්නා ලෙස මම කටකැඩෙනකම් කිව්වද එය තබ සතයකට මායිම් කලේ ඔහුනොවේය. උඹට එපානම් මට මොකදයැයි සිතූ මමද එය අයදුම්පතට එක්නොකල අතර මා ඒ සොහොයුරාට පැවසූ උපදෙසෙහි වටිනාකම ඔහුට තේරුනේ කඩයිම් ලකුණු නිකුත්කල පසුවය
 යාපනය සදහා අවම ලකුණ

යාපනය මාගේ කීමට ඇතුලත් කලානම් අද ඔහුටද සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් පැවති බව මගේ හැගීමයි. ගිය නුවන ලගාවන විට ඔහු ප්‍ර‍මාද වැඩිය.

(02) මම දැක්ක තවත් ලොකුම වැරැද්දක් තමයි පසුගිය අවුරුද්දේ Z-Scores අගය මත තීරණ අරගෙන සමහර වැදගත් හා තරගකාරීබවින් අඩු පහසුවෙන්ම ඇතුලත් වෙන්න පුලුවන්කම තියෙන පාඨමාලාවන් අතහැරලා දාන එක. විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි Z-Scores අගය සෑම වසරකම වෙනස්වෙන නිසා තමන්ගේ සුදුසුකම් මත අයදුම් කරන්න කියන එක.
උදාහරණයක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් 2014/15 අධ්‍යන වර්ෂයට විලාසිතා හා සැපයුම් ප්‍ර‍වර්ධනය පාඨමාලාවට අවම සුදුසුකම 0.8363 වුවද මෙවර 2015/16 අධ්‍යන වසරට එය 0.6169 දක්වා පහලට පැමිණ තිබෙනවා. එම නිසා පසුගිය වසරට පදනම්ව ගන්න තීරණත් අවාසිදායකයි.

(03) මේ වසරේ මම දැක්ක ඇසුව හොදම ගොන්කම මෙය යැයි බය නැතුව මට කියන්න පුලුවන්. කිසිවකු කියන දේ නාසන තවත් පණ්ඩිතයෙකු ( ඒ තුනක් එක්ක ටිකක් ඔලුවෙන් ඉදපු) සල්ලි ගෙවලත් කිසිම පෙර ඇතුලත්වීමේ පරීක්ෂණයකට(Aptitude Test) මුහුණදෙන්න ගියේ නෑ. නමුත් කණගාටුවට කරුණනම් ඒ සොයුරාට ලද පිලිතුරත් වුනේ තේරීපත්ව නැත යන්නයි.

පසු සටහන
  • හරියටම වසරකට පෙර අදවැනි දිනක අධ්‍යන වර්ෂ 2014/15 අදාලව අවම Z-Scores නිකුත් කල දින මම අතිශයෙන් සතුටට පත්වුනේ මම පුද්ගලිකවම සොයාබැලු විශේෂිත මානවිකාවක ඇය බලාපොරොත්තු වූ ස්ථානයටම සරසවි වරම් ලැබීම නිසාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ පුස්තකය නිකුත් තල තැන සිට මම ඇයට උදවු උපකාර කලෙමි. ප්‍රවේශ පුස්තකය නිකුත් කරන තුරු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කොමිසම ඉදිරිපිට සවස්වන තුරු ගතකල මතකය අදටත් මට මතකය.
  • එසේ සරසවි වරම් ලබා ගියවුන් ඉන්නා තැනක අතුරු ආන්තරාවක් නොමැතිව ඉන්නවා ඇතැයි මම සිතමි.
හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
එබට හැකිය දකින්න


ඒ වඟත් මෙසේමැයි අදත් පහරා පහුරු ගෑ මම සුදු පූසා වෙමි.

Thursday, September 1, 2016

හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව

දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය අතිමහත්ය. අප අයත් වූ බස්නාහිර පළාත් උතුරු කලාපයේ මෙවන් විශ්‍රාම ලබන්නන් රැසක් සිටි නිසාවෙන් ආසන්න ශාඛාවන් දෙකක් එකතුවී විනෝද සවාරියක් සැලසුම් කලේ ඔහුන්ගේත් රාජකාරී කාලය තුල යැවෙන අවසාන චාරිකාව නිසාය.
නුවරඑළියට නුදුරු ළිදුල නම් නගරයේ පිහිටි ආයතනික නිවාඩු නිකේතනයද වෙන්කරවාගත් අප දින තුනකට චාරිකාව සැලසුම් කලේ සිකුරාදා දිනය බැංකු නිවාඩුවක් වු බැවින්ය. චාරිකාව යාමට අවශ්‍යවන ආසන 54 අලුත්ම ලේලන්ඩ් බස්රථය නොමිලේම ලබා දුන්නේ හිතවත් බස් මුදලාලි මහතෙකු වු අතර සීදූව ගල් වැඩපලෙහි නිශ්පාදිත හෙලඔසුපැන් බෝතල් දහයක් අඩංගු මල්ල ලැබුනේ හන්දියේ වයින් ස්ටෝරුව අධිපති තම්බි නානාගෙනි.
ශාඛාවන් දෙකෙහිම සාමාජික එකතුව පවුල්වල සාමාජිකයිනුත් සමග පණහක් පමණ විය. පාසල් හැරගිය පුහුණුවන්නන් විධායක නිලදාරීන් කලමණාකරුවන් තම තනතුරු අමතක කර විනෝද වන්නට ගත්තේ තමන් මුහුණදෙන දෛනික ඒකාකාරී ජීවන රටාව මොහොතකය අමතක කරමිනි.

ගීත ගයමින් විනෝද වූවන් අතර නොබෝ දිනකින් විශ්‍රාම යාමට සිටි තිලකසිරි මහතා බන්දුසේන මහතා දයාසීලී මහත්මිය ආදීන් වූ අතර බන්දුසේන මහතා කලක් සරස්චන්ද්‍ර‍ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි නිසා මිහිරි හඩින් නාට්‍ය ගීත ගායනා කිරීමට හැකියාව ඇත්තෙකි. අප ඒවන විට නුවරඑලියට ආසන්නයෙන් වනාන්තර පදෙසකින් ගමන් කරමින් සිටි අතර මීවිතක් අතින් ගත් බන්දුසේන මහතා මනමේ නාටකයේ ගීතයක් ආරම්බ කලේ සැමගේ ඉල්ලීම පිටය.
"වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ 
මගුල් මඩුවකට බදු වු
වනාන්තරයේ සෝබාව නරබමින් යන විට
ගමන් විඩාව ඉබේටම මග හැරේ සොදුර
වන රැජිණද නෙක් විසිතුරු පාන්නේ
අප දෙදෙනාගේ විවාහයට සතුටු වන්නා සේය"

එක්වරම ඩෝං ශබ්දයත් සමග බස්රථය තම ගමන නවතාලීය. පසුපස රෝදයේ හුලං නැත. අප රථය නැවතී තිබුනේ විශාල තේ වත්තක් මැදින් වැටී ඇති මාර්ගයකය. මිනිස් පුලුටක් පෙන්නවත් නැත අප රාත්‍රී ආහාරය නවාතැනේන ගන්නට සිටි නිසා දැන් කට්ටියගේම බඩපණුවන් බොක්ෂිං ගසන්වාය. වයසක උදවියත් බලවත් උදවියත් බසයේ නතර කල මමත් හිරන්ත අයියාත් ආරුමුක්කම් මහතාත් සේනකත් සිකුරුටි හේමේත් සමග ඇතින් පෙනුන ලැයිමක් වෙත ගියේ රථය පිලිසකර කර ගැනීමට උදව්වක් සොයා ගැනීමටය. 
අප වැටී සිටි අමාරුව දුටු විගසඒ දමිල සහෝදරයින් පිරිස අපත් සමග රථය වෙත ආවේ ටයර් වැඩ දන්නා කාර්මිකයෙකුද සමගිනි.
අප යන විට නඩයේ සියලුම දෙනා බිමට බැස ආසන්නයේ ගල්තලාවකට නැග සිටි අතර අප සමග සිටි දෙමල තරුණයින් කීවේ "අයියෝ මාතියා බිම ඉන්න එපා මේ රේ යාමේ දිවියා තමා ඉන්නවා" කියාය දැන් කට්ටියම දිවියන්ට එකසිය ගානට බිය වී ඇත. අප සමග සිටි කුඩා දරුවන් නින්දට පත්ව ඇති අතර කාන්තා පාර්ශවයද නින්දත් නොනින්දත් අතර පසුවිය.
 වැඩ නිමවු බස්රථය තුලින් එක්වරම දිවියෙකුගේ ගෙරවීමකට සමාන ශබ්දයක් ඇසෙන්නට වූ අතර කෙමෙන් කෙමෙන් ඉහල යන්නට විය. රියදුරු තෙමේ බඩුභාණ්ඩ වල ආරක්ෂාව තකා ජනෙල් සහ දොරවල් දෙක වසා තිබුණු අතර දැන් සියල්ලන්ගේම අදහස වුයේ දිවියෙකු බසයතුලට රිංගාගෙන ඇති බවයි. බසයේ රියදුරු මහතා දිග ලීයක් උපකාරී කරගෙන ඉදිරිපස දොර සහ ජනේ්ලයක් විවෘත කලේ දිවියෙකු සිටිනවානම් පිටවීමටය. ඈතට වී බලා සිටියද දිවියෙකු පිටවෙනවා නොදැක්ක නිසාත් ගෙරවීම යලි ඇසෙන නිසාත් බලවත් උදවියගේ කීම නොඅසා හේමචන්ද්‍ර‍ අංකලුත් තිවංක අයියාත් රියදුරු මහතාත් මමත් බසයට නැග්ගේ දිවියා බැලීමටය. දිවියෙකු තබා පුල්ලියක්වත් නොදැක්කත් පසුපස අසුනේ දිගාවී තද නින්දේ ගොරවමින් සිටියේ පියදාස මහතාය ඇහැරුව විට පුතා ටිකක් වැඩි උනා ලිදුලට ගියහම ඇහැරවන්න යැයි කියා යලිත් නින්දට වැටුණ ඒතුමා අප වින්ද හිතේ ගින්දර දන්නේ පහුවදා උදේය. උදව් කල සොයුරන්ට ස්තූති කර අප ලිදුල නවාතැනට ලගාවන විට අලුයම දෙකට ආසන්න වී තිබුණ බව යාන්තමින් මට මතකය..

පසු සටහන

  • අදින් වර්ෂ හතරකට පමණ පෙරදී යන්නට යෙදුන මේ චාරිකාව මාගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. ඒදා ඒ මහ රෑ තේවත්තක් මැද අතරමන් වු අයගෙන් කිසිවෙකු මේ වනවිට ඒ ශාඛාවල සේවයේ නැත. පිරිස පුවක්වල්ල පොලවේ ගැසුවා සේ සී සී කඩ විසිරිලාය. එදා ලමාවයසේ සිටිවුන් අද තරුණය. සමහරුන් දීර්ඝකාලීන් රෝගයන්ගෙන් පීඩා විදිනවාය.
  • අපට ගීත ගායනා කරමින් රස සයුරක පිනවු බන්දුසේන මහතා විශ්‍රාම ලබා කෙටි කලකින්ම මියදුන අතර දිවියා මෙන් ගොරවමින් සිටි පියදාස මහතා මේ වසරේ මැයි මාසයේදී දෙවියන් වහන්සේ බැහැදැකීමට පිටත් වී ගියේය. මම දන්නා පරිදි ඒ ශාඛාවන් දෙකෙහි එකමුතුවෙන් ගිය අවසන් චාරිකාව එයම විය.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වම්හ.....



Saturday, August 20, 2016

ඔලුබක්කන්ගේ නැටුම සහ හිතහොද ජම්බු තුමා

ලියාගෙන පැමිණි කථාව අනුව නම් කැම්පස් කටුබැද්දේ ඉතිරි මතක සටහන් ලියවිය යුතු උනත් එක දිගට ලිවීම නීරස වන නිසාවෙන් අද වෙනත් මතකයක් අවදි කිරීමට සිතුවෙමි. මතකයත් සමග අතීතයට යන විට නැවතුන වසර 2005 වසරයි. මේ වසර අපි කොට කලිසමින් සැරසුණු අවසන් වසර වූ අතර වසර භාර ආචාර්ය වරයා වශයෙන් සිටියේ එදා මෙදා තුර අපට හමුවු මතක්වන විටත් සිනහා යන අන්වර්ථනාමයන් රාශියක හිමිකරු වූ අබේසිංහ බංඩා මහතාය.
මම හිටපු මැංගුස් ගහ යට පන්තියට මේතුමා ඉගැන්නුවේ නැතිවුනත් අනිත් පන්තිවලට ජීවන නිපුනතා උගන්නපු මෙතුමට තිබුබා අලි නහයක්. ඉතිං අපි ආදරේට කිවුවේ පිණි ජම්බුවා කියලා අපිට මල පැන්නම කිව්වේ ජම්බුවා කියලා. මෙතුමා පහර දෙන්නේ කොයිවෙලෙත් පස්සටමයි. පශ්චාත් කලාපය හරහා එල්ල කරන ස්විප්කට් ප්‍ර‍හාරය හින්දා පුකමරුවා කියන සුවිශේෂී නාමයෙන් මෙතුමව රෙජිස්ටර් කරලා තිබ්බා. ඒ අතර තුර ජම්බුතුමාට තිබුණා නායකයෝ දුසිම් ගානක් පන්තියකට පත්කරන්න. නායකයෝ වැඩි උනාමත් ඉතින් වැඩේ අල වෙනවනේ මගේ මතකයේ හැටියට

  • විනය නායක - පන්තියේ විනය ආරක්ෂා කිරීම(පන්ති නායකයා නමට පමණි)
  • වැසිකිලි නායක - වැසිකිලි සුද්ධ පවිත්‍ර‍කරීම මොහුගේ වගකීමයි
  • ඇගයීම් නායක - ඇගයීම් වල ලකුණු සටහන් කල යුතුය.
  • දවසේ නායක - වසරේන්ම එක් අයෙකු දවසේ නායක වී සෑහෙන පරිප්පුවක් දවස පුරා අනුභව කල යුතුය.
  • ඒස් 5 නායක - පංතියේ එස්5 සංකල්පයට අනුව පවත්වාගෙන යාම මොහුගේ රාජකාරියයි.
උදේට පහන තියන තැන ඉදලා ඉස්කෝලේ ඇරෙනකම් හැම මඟුලටම නායකයෝ පත් කරලා උන්නා.මටත් සාරධර්ම නායක කියලා පට්ටමක් හම්බවෙලා තිබුණා.හැබැයි මගේ සාරධර්මේ වැඩිවෙලා වැඩපැහැර හැරියා කියලා මේකා මට මාස හයක් පන්තිය අතුගාන්න නියම කලාට මම අතුගෑවේ නෑ මොකද මගේ අතේ වරදක් නැති නිසා. ඊලග දවසේ සුපුරුදු ස්වීප්කට් පහර කාල ගෙදර ගිහින් කිව්වම අපේ පියතුමා ඇවිල්ලා මේ පිස්සු කෙලින ජම්බුතුමාට ජාතිය අමතලා ගියහම තමයි මට වදදෙන එක ජම්බුවා නතරකලේ.(අතුනොගෑවේ මට ඒ කාලේ දරුණුවටම හතිය තිබුණා.දූවිල්ල ගිය ගමන් වැඩිවෙන හින්දා මෙඩිකල් දීලත් තිබුනේ කොහෙද ජම්බුතුමාට කිවුවට පිලිගත්තේම නෑනේ)
මෙතුමා කරපු හොදවැඩ ගැනත් නොකියාම බෑ. එතෙක් අඩපණ වෙලා තිබුබ සාහිත්‍ය සමිතිය දෙසතියකට වරක් පවත්වන්න කටයුතු කලේ මෙතුමගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන්ම හැම පන්තියකින්ම ඉදිරිපත් කිරීමක් භාර අරගෙන කල යුතුව තිබුණා. ඔලුබක්කන්ගේ නැටුම සම්බන්ද වෙන්නේ මෙන්න මෙතන ඉදලයි. එදා සමිතියේ අවස්ථාව උදාවෙලා තිබුණේ 9-F නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට. ඒකාලේ ටිකක් අලි ඔලුවෙන් ඉදපු පන්තියක්ය කියලා අනිත් පන්ති ටික හිතන් උන්න මේ පන්තියේ අයගේ ඉදිරිපත් කිරීම බලන්නයි අපේ සූදානම. ඉස්සෙල්ලා අවේ ඔහුන්ගේ පන්තියේ නිවේදක තැන්පත් ධනංජය. ඒ කාලේ කිසිම අසුරක් නැති උනත් වර්ථමානය වෙනකොට මේ කියන පන්තියේ හැම එක්කෙනාම නිරන්තරවම පොදු වැඩවලදී එකට කටයුතු කරන මගේ හොදම යාලුවෝ.
තිරය විවෘත වෙනවාත් එක්කම ඇසුනේ පහත ගීතයයි.


"නැත්තේ මොලේ පිලිගන්න සැකේ
ඔලුබක්කෝ අපියි සිරි ලංකාවේ"

මේ කියන කාලේ හිටපු ප්‍රසිද්ධම දේශපාලන චරිත වගේ ඇදගෙන තමයි මේ සිනුදුවට කට්ටිය නටන්න ආවේ. තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මෙයාලා තමන්ගේ මුහුණත් තහඩු ටික පෙට්ටියකින් වහගෙනයි ආවේ මෙන්න මේ වගේ.
තම තමන්ව අදුරගන්නවට මූණට පෙට්ටි දාගෙන ආවත් මම රනිල් වික්‍ර‍මසිංහ විපක්ෂ නායක විදිහට ඇදගෙන රඟපාපු නලුවාව නම් අදුරගත්තා කිසිම අපහසුවකින් තොරවම. එදා ඒ නටපු අනිත් අය කවුද කියලා දැනගෙන හිටියේ ඒ පන්තියෙම උදවිය තමයි. වෙනදට වඩා වෙනස්ම ඉදිරිපත් කිරීමක් නිසා ඔලුබක්කෝ ටික නැගලම ගියා. ටික වෙලාවක් යද්දී ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙමල සංධානෙයි ස්ටේජ් එක උඩ එකාට එකා හැප්පෙන්න ගත්තා. නටනවා ඒ වගේම හැප්පෙනවා නිකන් අන්ධයෝ ටිකක් ඩාන්ස් කලා වගේ. එදා ඒ එකපාරටම අන්ධයෝ උනේ ඇයි කියන එකට උත්තරයක් නම් එදා හොයා ගන්න බැරි උනා. 

මේ සිදුවීමෙන් වසර දොලහකට විතර පස්සේ මෑතකදී අපි සංවිධානය කරපු පොදු වැඩකට ආව වෙලාවේ එදා හිටපු නිවේදක තුමාගෙන් මම ඇහුවා මචන් ඔලුබක්කෝ නැටුම ගැන කියහන්කෝ උඹලා ඇයි එකම තැන හැප්පි හැප්පි නැටුවේ කියලා?
මචන් මෙහෙමනේ බන් ඕක උනේ. අපේ පාලින්ද සර් තමයි ආදී කල්ප කාලයක් පරණ කැසට් තොගයක් උස්සන් ඇවිල්ලා එක එක දාල බලලා ඔය සින්දුව තෝර ගත්තේ. 

මම තමයි බන් ඕක හොදයි කියලා කිව්වේ. ඊට පස්සේ දවස් ගානක් හවස් වරුවේ පුරුදු උනා බන් නටන්න. පාලින්ද සර් පුරුදු කලා නියම නැටුමක් නටන්න ආයේ කාතා කරලා වැඩක් නෑ. අපි අර දාගෙන උන්න පෙට්ටි හැදුවේ එදා උදේ ලැබ් එකේදි. අපි ප්‍රැක්ටිස් කරද්දි පෙට්ටි දාගන්නේ නැතුවනේ පුරුදු උනේ. ඉතින් අර පෙට්ටිය ඔලුවේ නමාගත්තම මුකුත් පේන්නේ නැතුව ගියා. ඒක හින්දා හරියට පුරුදු වෙච්ච එකත්වත් නටා ගන්න බැරි උනා. හු පාරවල් කන්නේ නැතුව හැප්පි හැප්පි හරි නටලා බේරුන එකම මදිද බන්.

පසු සටහන

  • මේ විස්තර කල පන්තියේ මිතුරන් වර්තමානය වන විටත් එකමුතුව එකාවන්ව කටයුතු කරමින් සිටින්නේ අප සාමාන්‍යපෙලට මුහුණ දී වසර නවයකට පසුත් වෙනත් කිසිදු පන්තියක නොවුවිරූ ලෙසටය. අනෙක් පන්ති අතර මෙවැනි මිතුරු බැදීම් නැත්තේය. මෙය එදා ඔලුබක්කන් ලෙස වේදිකාව සැරසූවන්ට හා මේ පිලිබදව මාගේ මතකයද අවුස්සා මා නොදත් නිධාන කතාවද පැවසූ මිත්‍ර‍යාටත් ස්තූතිය පලකරමි. 
  • ජම්බුතුමා ගැන කියනවානම් ඒ කාලේ අපහට මහත්ම ඇණයක්ම විය. පිස්සුවෙත් හොදම පිස්සුවක්වූ නායකත්ව මේනියාවත් පරිවාස මේනියාවත් නොතිබුණානම් ගුරුවරයෙකු ලෙස හොද මිනිසෙකි.
    වරක් අ.පො.ස සාමාන්‍යපෙල ප්‍ර‍ශ්ණපත්‍ර‍ මිටියක් අසල මාර්ගයක දමා යන්නට තරම් මෙතුමා පුංචි පහේ හපනෙක් විය.
  • මේ පන්තියේ සිට ක්‍රියාත්මක වූ "Sri Lanka CIA" නම් රහස් පරීක්ෂණ කණ්ඩායමත් එයින් යවන්නට යෙදුනා වූ ඉලඇදෙන වරෙන්තුව ගැන මතකය ඉදිරියට...

ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි...


Thursday, August 4, 2016

කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර්


පලමු දිගහැරුම
දෙවන දිගහැරුම


අද කියන්නට යන්නේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ ගත කල කාලසීමාවේදී මුණ ගැසුණු තවත් අපූරු චරිතයක් ගැනය. ඉහත ජායාරූපයේ ඇත්තේ මොරටු සරසවියේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයයි. මේ තුලද ඉතා රසවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම වූ අතර මෙහි සිටි ලොකු දොස්තර නෝනාගේ නම දැන් මට මතක නැති වුවත් ඇය එක්තරා විනෝදකාමී තැනැත්තියක් ලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසුනට අධිපතිව සිටියාය. මාගේ මතකය අනුව ඇයට අමතරව කාර්ය මණ්ඩලය ලෙස තවත් වෛද්‍ය නිලධාරියෙකු, සිසුන්ගේ දත් ගැලවීමට හපන් දත් දොස්තරවරයෙක් හෙද නිලධාරීන් ඕෂධවේදියෙකු ඇතුලු පිරිසකගෙන් සමන්විත විය.
සල්පිටිකෝරාල මහතා නැතිනම් මගේ කලමණාකාරතුමා සමග යම් අවශ්‍යතාවකට සෙනට් බිල්ඩිමට ගිය විට ඔලුව කැක්කුමක් ඇතිවූ නිසා බෙහෙතක් ඉල්ලා ගැනීමට  වෛද්‍ය මධ්‍යස්ථානයට යන්නට සල්පිටි මහතා මටත් කතාකල බැවින් අපි දෙදෙනා වේගයෙන් පඩිපෙල බැස ආපු වේගයෙන්ම පාරමාරුවී වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුල්වීමු. ලොකු දොස්තර නොනා නොසිටි අතර අනෙක් වෙදදුරු තෙමේ සල්පිටි මහතාගේ ප්‍රෙෂර් බලා ලුණු නැතුව ඇඹුල් අඹයක් කෑ අයෙකු මෙන් මූණ ඇඹුල් කර ගත්තේය.

මිස්ටර් සල්පිටි හාට්බීට් ඒක  ඇබ්නෝමල් ඒවගේම ප්‍රෙශර් එකත් හොදටම වැඩියි. ඔලුව රිදුනෙත් මේ හින්දා තමයි. මම මේ දෙන බේත් ටික වරද්දන්නේ නැතුව ගන්න ඒ අතරේ කොලොස්ටරෝල් ටෙස් කරගන්න යැයි පැවසු වෙදදුරු තෙමේ වීරක්කොඩි ලවා බෙහෙත් පිරවූ මලු කිහිපයක් අත තැබීය.
සල්පිටි මහතා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එලියට බැස්සේ ඇමතිකමක් නොලැබුණ මන්ත්‍රීවරයෙකු අරලියගහ මැදුරෙන් එලියට බසින්නාක් මෙනි. මද දුරක් ගොස් මට ඔහු පැවසුවේ බලහන් මගේ ලමයි දෙන්නත් තාම පොඩියි ලෙඩ උනොත් මම විනාශයි කියලාය. එක් වරම පිටුපසින් කිසිවෙකු අමතන හඩක් ඇසුනි.
ඒයි ඒයි දෙන්නා කොහෙද ඔය යන්නේ මලු ටිකකුත් උස්සගෙන යනුවෙන් අපෙන් ඇසුවේ එතෙක් අතුරුදහන්ව සිටි ලොකු දොස්තර නෝනාය. මෙහේ එන්න මෙහේ එන්න කියමින් අපවත් රැගෙන ඇගේ කුටියට ගිය ඇය දෙන්න බලන්න මේ මොනවද කියලා යැයි පවසා අතේ තිබූ බෙහෙත් මලු මේසය මතට හැලීය.

දෙයියනේ මේවා දෙන්නේ හාට් ප්‍රේෂන්ට්ලටනේ මිස්ටර් සලපිටි ඔයාට ඇති ලෙඩක් නෑ යැයි පවසා අර බෙහෙත් සියල්ලම කුණු කූඩයට විසිකර දැමීය. සල්පිටි මහතා ඩොක්ටර් මගේ ප්‍රෙෂර් එකත් වැඩී යැයි පැවස් විට ඇය කිව්වේ ඈත ඉදලා දුවගෙන ආවහම ප්‍රෙශර් වැඩිවෙනවා තමයි මිස්ටර්. මම දැක්කනේ දුවගෙන ආව ස්පීඩ් එක කොහොමද කියලා. පසුව යලිත් බලන විට නාඩි වේගය පැවතියේ සාමාන්‍ය තත්වයේය. එදා ඇය මුණගැසුණේ නැත්නම් සල්පිටි මහතා නිකරුණේ රෝගී වෙමින් හිතෙන් දුක් විදිනවාය. 

*******
දවත් දිනක මම යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "පුතේ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද කියාලාය". එය ඇසූසියල්ලන්ම මහ හඩින් සිනාසුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.



අවසාන වශයෙන් අධ්‍යන වර්ෂ 2014/15 සදහා නවක සිසුන් සරසවි ලියාපදිංචිය සිදුකල දින ඇය සිසු සිසුවියන්ට ‍වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාදුන් උපදෙස් මාලාවෙහි මෙග් මතකේ රැදුණු ෙකාටසින් අද ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.

"ලමායි ඔයාලා ඒග්සෑම් වලින් රිපීට් වෙන එ්ක මට ප්‍රශ්ණයක් නෙවෙයි

කැන්ටිමේ කෑම වලින් බඩයන්න ගත්තත් ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

පැපොල සරම්ප වගේ ලෙඩක් හැදුනත් 
ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

But specially ladies got pregnant, It is big problem for me
 Immediately come and meet me.because I can sign yours marriage"

*******
පසු සටහන
  • මේ සටහන තබන මේ මොහොත වන විට දොස්තර නෝනා සරසවියේ සේවයෙන් නික්ම ගොස් ඇති බව මම දැනගත්තේ පසුගිය දිනක හදිසියේ කජුකැලේ පැත්තට ගිය වේලාවේදීය.
  • සාමාන්‍යයෙන් සරසවි සිසු කාණ්ඩයන් එකමුතුව සිටිනා පිරිසක්ය යන බව සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්ය. නමුත් එසේ බැච් එකේ එකෙකුට එකෙක් නැති අරුම පුදුම කණ්ඩායමක් අධ්‍යන වර්ෂ 2014/2015 යටතේ සිටින බවත් ඒ පිලිබදව රසකතා ගොඩක් මේ ලගකදී අසන්නට ලැබුණි. දිවයිනේ සතරදිග්භාගයේ මොලේ අනිත් පැත්තෙන් සිතනා හතලිහක පිරිසක් පමණක් සිටිනා මෙහි රසකතා කිහිපයක් ඉදිරියේදී ලියන්නට අදහස් කරගෙන සිටිමි.


ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ....

Friday, July 15, 2016

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද දෙවන දිගහැරුම - ඔරු පාරු සහ ඩෙංගු උණ

පලමුවෙනි දිගහැරුම

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැත. ඒ කාලය ඉතාමත් සොදුරුය මිහිරිය. මේ දවස්වල මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි.
මහපොල රාජකාරී වලින්ම මම හදුනාගත්තු හොදම මිත්‍රයෙක් තමයි ඒ් කාලයේ අවසාන වසරේ ඉදපු මාධවන් කියන මිත්‍ර‍යා. යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වෙලා හිටපු මෙයා අපිත් එක්ක තදින් මිතුරුදම් ඇතිකරගත්තා. ක්‍රීඩාවන් රාශියක නිරතවෙලා හිටපු මාධවන් 2014 TPL දිනපු කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා හිටපු බවත් හා TPL ගැන මතකය පස්සට කියන්නම්.

මෙයාගේ ප්‍ර‍ධානම විනෝදාංශය තමයි rowing නැත්තම් ඔරු පැදීම. ඒ වසර අවසාන වෙද්දි සරසවි ජීවිතෙන් සමුගන්න නියමිතව හිටපු මාධවන් ඇති හැකි සෑම වෙලාවකම අපිත් එක්ක වැඩකටයුතු කරගෙන හිටිය අපේ හොදම මිත්‍රයෙක්. ඒ කාලේ අපේ කලමණාකාරතුමත් කන්තලේ පැත්තෙන් ආව අතට පයට කැත්ත උදැල්ල වගේම හබලත් හොදට පුරුදු මහත්මයෙක්. දවසක් මාදවන්ගේත් අපේ කලමණාකාරතුමාගේත් අදහස වෙලා තිබ්බේ බොල්ගොඩ ගගේ ඔරු පදින්න යන්න. 
හතර දෙනෙකුට මෙන්ම දෙදෙනෙකුටත් පදින්න පුලුවන් වර්ගයේ යාත්‍රා තිබුනත් මාධවන් ගමනට තෝරගෙන තිබුනේ හතරදෙනෙකුට ගමන් කල හැකි ඔරුවක්. මාධවන් සමග සල්පිටිකෝරාල මහතාත් මට මෙහි නම අමතක තවත් සොයුරෙකුත් ගමනට ලෑස්ති වෙලා හිටියා. බොල්ගොඩ ගඟට බිල්ලක් වෙන්න මගේ තුන්හිතකවත් ආසාවක් නැතිහින්දා ගොඩ ඉන්න හදනකොට බලෙන්ම වගේ මාවත් ඔරුවට පටවාගත්තේ මාධවන් ගොයියාම තමා.
හබල පදවන මාධවන්ගේ දෑතට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි කියලා හිතාගෙන ඔරුවට නැගගත්තේ සිතේ සතුටකින්නම් නොවේය. ටිකෙන් ටික බොල්ගොඩ ගගේ මැදට ගියපසු සල්පිටිකෝරාල මහතාත් මාධවනුත් දුම්මල වරම් දෑතින් ගත් කපුවන්සේ පදින්නට ගත්තේ මැදින් වාඩිවී සිටි මට සිංහල භාෂාවේ ඇති සියලුම සුන්දර වචන සිහිගන්වමිනි. ඔරුව ගැස්සේන පැද්දෙන තාලයට සාපේක්ෂව මගේ ඔලුව කැරකෙන්නට වු අතර දවල්ට කාපුවා යලිත් උගුරට එන්නාක් බදුවිය. මම බලාගෙන සිටියේ දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලාය මොකද ඒ තරම් හොදින් පරිස්සමට අපේ මිත්‍ර‍යින් තිදෙනා ඔරුව පැද්ද නිසාය. 
මාධවන් ඔරුව අරගෙන ආවේද හොරපාරෙන් වන අතර කරුමෙකට හරි පෙරලුනොත් පූසාට පීනන්නටද බැරිය. පේනතෙක් මානයේ වෙනත් මිනිස් පුලුටක් පෙනෙන්නටද නැත

කෙසේ හෝ පැයක් පමණ විවිධ විවිධ ශිල්පක්‍ර‍ම අත්හදා බලමින් හිතේ හැටියට ඔරුපැද දෙදෙනාටම ඇතිවී යලිත් තොටුපලට දෙසට හබල්ගාන්නට වු පසුයි හිරවෙලා තිබ්බ මගේ හුස්ම ආපහු වැටෙන්නට ගත්තේ. තොටුපලට ගොඩබට මාව වත්කම් කර ගැනීමට මාධවන්ට සහ සල්පිටි මහතාට සිදුවූ බව නම් යන්තමින් මතකයේ රැදී ඇත. 


*********
මේ දවස්වල මේ සොදුරු නවාතැන් පලට තර්ජනයක් ඇතිවෙමින් පවතිනවාය. එනම් ඩෙංගු රෝගය වෙනකිසිදිනක නොවු අයුරින් වසංගත තත්වයෙන් විශ්වවිද්‍යාලය තුලත් ඒ අවට ප්‍රදේශයෙත් ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පැවතීමයි.
බොහෝ සිසු සිසුවියන්හට ඩෙංගු උණ වැලදිලාය. බොහොමයක් අධ්‍යනාංශ වල අර්ධ වාර්ෂිකයේ ඇගයිම් හා විභාග කටයුතු ආරම්බ වන සමය මේ වන අතර බොහෝමයක් මානවික මානවිකාවන් හට තම ඇගයීම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්වයක් පවා මේවන විට ඇතිවී තිබේ. මාත් සමග කටයුතු කල මා දන්නා හදුනන කිහිප දෙනෙකුටම මේ වන විට ඩෙංගු උණ වැලදී තිබේ. එබැවින් මම පසුගිය දිනක ඔහුන් බැලීමට කලුබෝවිල රෝහලට ගියෙමි. හතර දෙනාගෙන් දෙදෙනෙකු රෝහලින් පිටව ගොස් තිබූ අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක ප්‍ර‍තිකාර ලබමින් සිටියේය.
අනෙක් මිතුරන් දෙදෙනා බැලීමට මොරටුව සරසවියට යන අතර තුර  දැන ගන්නට ලැබුනේ මගේ ලගම හිතවත් සොයුරියකටද ඩෙංගු උණ සෑදී රෝහල්ගතව සිට යලිත් සරසවියට පැමිණ ඇති බවයි. එය ඇසූවිට මගේ සිත දැඩි කණගාටුවකින් පිරීයන්නට වූ අතර ඇයගේ තත්වයද දැන ගැනීමට මට සිත්විය. තේමිය සහ නිවන්ත යන මිතුරන් දෙදෙනාගේ සුවදුක් විමසා බලා අවසානයේ වෙන්ඩ ආචාර්ය ජික්කිත් සමග ඇගේ අධ්‍යනාංශය අැතුලටම ගියත් එම අධ්‍යනාංශයේ සිටින අප සුමිතුරා ඒ මොහොතේ මදකට බැහැරක ගිහිල්ලාය. දේශණ කටයුතු ඇතැයි සිතුණු නිසාවෙන් අපි දෙදෙනා ආපසු හැරී ආවෙමු.(ඒ මිත්‍ර‍යාද යලිත් පිටතදී මුණගැසිණු අතර ජායාරූපය පහල ඇත)

ඩෙංගු උණ මාරාන්තික රෝගයකි. එය සාමන්‍ය වශයෙන් සිව්වතාවක් වැලදිය හැකිබව වෛද්‍ය මතයයි. එක වරක් සුවවී යලිත් වැලදුනහොත් ඉතාමත් මාරාන්තික විය හැකිය. මේ දිනවල මොරටුව සරසවිය අවට මදුරු ගණත්වය ඉතා ඉහල මට්ටමක පවතින බව දැන ගැනීමට ලැබුනි. ආදරණිය නංගියේ මල්ලියේ ඔබට වරක් වැලදුනානම් අතිශයෙන්ම ප්‍රවේසම් වන්න මක්නිසාදයත් ඔබට දෙවන වර වැලදීමට හැකි සම්බාවිතාව ඉතාමත් මට්ටමක ඇති නිසාය. 

අවසාන වශයෙන්මේ වන විට ඩෙංගු උණෙන් පීඩාවිදින රෝහල්ගතවී සිටින සැමටම අතුරු අන්තරාවකින් තොරව ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවායි පතන්නෙමි.

පස්සෙන් පහු සටහන



  • මේ සියල්ලටම මුලිකත්වය ගත් මාධවන් රාමසාමි මිතුරාව 2015 ජනවාරියෙන් පසුව යලිත් මුණගැසුනේ ලෙඩුන් බැලීමට කජුකැලයට ගිය මොහොතේදීය. ඉහත ජායාරූපයේ අංක පිලිවෙලට තේමිය මධුභාෂිතමාධවන් රාමසාමි, වෙන්ඩ Dr. ජික්කිත්වෙන්ඩ Dr.. මාස් පැරා පෙනී සිටී. දකුණුපස අංකනය නොකල ස්ථානයේ සිටින්නේ රැදී සිටින්නේ පූස්තෙමේය. අංක තුන සහ හතර ලෙක්චරවරුන් වන බැවින් බ්ලොග් දානවානම් මුහුණත් තහඩු වනසා දමන මෙන් ඉල්ලා සිටි නිසා මුහුණු පමණක් කාටුන් බවට පත්කලෙමි.
  • වල ගොඩඋඩ කැන්ටින් ගැනත් ලොකු දොස්තර නොනාගේ රසකතාත් Graduation Fashion Show 2015 මෙන්ම A හා රාහුල හොස්ටල් සහ තවත් කතා කිහිපයක් ඉදිරියේදී ලියවිය යුත්තේය. මේ ගෙවන්නේ අධික කාර්යබහුල කාලයක් නිසා සටහන් කෙටිවීම ගැන කියවන්නෝ කමත්වා.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ.......

Friday, July 1, 2016

මහපොල කජුකැලය හරහා බැංකුවේ මතක කැම්පස් කටුබැද්ද - පලමු දිගහැරුම

මමතුමා ජාතියේ මහා පහන්ටැබේ සේවය කල කාලය තුල විවිධ විවිධ අවස්මාථාවන්ට හා පුද්ගලයන්ට මුහුණ දී ඒ තුලින් මා ලද අත්දැකීම් බොහෝය. රසකතා ප්‍රේම ජවනිකා දුක්මුසු අවස්ථාවන් මෙන්ම විනෝද සමය රඟදැක්වූ අවස්ථා අනන්තය අප්‍ර‍මානය. අද  කියන්නට යන්නේ ඉතාම කෙටි කාලයක් රැදී සිටි නමුත් තදින් ඇලුම් කල තැනක ගතකල මතකයයි.
අප ආදරණිය නැසීගිය ප්‍ර‍ධාන කලමණාකාර ජනක් මහත්මා එක්දිනක අප සිටි තැනට පැමිණ පොඩි උදව්වක් ඉල්ලුවේය. එනම් එක මාසයක් සදහා කටුබැද්ද ශාඛාවෙහි වැඩ කටයුතු සදහා මොරටුවට යන්නටය. ජනක් මහතාට බෑ කියන්නටද අපට නොහැකිය. කොළඹ සරසවියෙන් පැමිණ සිටි මානවිකාවියන් දෙදෙනා  මොරටුවට හරවා යැවීම ප්‍රායෝගික නොවන නිසාවෙන් හා මානවිකාවන් ඔහුන් සතු මායම් සියල්ල පාවිච්චි කොට උන් දෙදෙනා ආඳන් මෙන් ලිස්සා ගියහ. රුචිත් මලයාත් යන්නට අකමැති වූ නිසාවෙන් ඕන මරාලයක් කියා මම කටුබැද්දට යන්නට සූදානම් වුනෙමි. ජනක මහත්මාගෙන් ලද සහන ස්ථාන මාරු පත්‍රිකාව දුටු විට මට තරු වල්ගා තරු මණ්කිදාණිද පෙනේන්නට විය. කටුබැද්ද කියලා කිවුවට කටුබැද්ද නොවේය. ඒ සොදුරු නවාතැන්පල මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබූ ජාතියේ මහා පහන්ටැඹ ශාඛාව විය.
හා පුරා කියලා දෙදෙහස් දහහතරේ වප් මාසේ හත්වෙනිදා මම මොරටුව විශ්වවිද්‍යාලේ සුමනදාස බිල්ඩිමේ කෙරවලක පිහිටුවා තිබුණ ඒ සොදුරු කුඩා නවාතැන්පලට ගොඩබැස්සේ.  ඒ කාලේ වෙනකොට සල්පිටිකෝරාල මහතා තමා කළමණාකාර ආසනයට අධිපතිව වැඩ සිටියේ. කලමණාකරුත් සමග ස්ථීර සේවකයන් ගණනින් හතරක් විය යුතු වුවත් ඒවන විට සිටියේ තවත් එක් ලිපිකරුවෙකු පමණි. ඊට අමතරව විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් අපට සහයට සිටි අතර ඔහුන් පිලිබදව අවසානයේ සිහිකරමි.


මගේ මතකය නිවරදි නම් ඒ මාසයේ මහපොල ගෙවීම් සිදුවුනේ සයමසක ප්‍ර‍මාදයක් සහිතවය. මහපොල නිකුත්කල ආරංචියට උදෑසන සිටම මානවකයින් මානවිකාවන් පෝලිමේය. එක එක මට්ටමේ ගැටලු විසදා දීමට සිටියේ සල්පිටිකෝරාල මහතාත් මමත් පමණි. සමහරුන්ගේ අත්සන ආදර්ශ අත්සනට වඩා වෙනස්ය එවිට ලංකාවේ හතරදිග්භාගයේ ශාඛාවන්ට (ජාතිය)ඇමතිය යුතුය. ඇතමෙකුගේ ATM කාඩ්පත තාවකාලිකව අක්‍රීය වීම(Dormant) නිසා සල්ලි ගැනීමට නොහැකි වෙලාය. සමහරුන්ට අත්සන වෙනස් වුවත් ගෙවීම් කටයුතු කලේ නීතිරීති වලට වඩා මනුසත්කම පෙරදැරි කරගෙනය. මම පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරුවද මහපොලින් සිසුන්ට ලැබෙන සහනය මම හොදින්ම දන්නා නිසාවෙන් කිසිදු සිසුවෙකුට මුදල් නොගෙවා හරවා යැවීමට තරම් අප අකාරුණික නොවුනෙමු.
ඒ ගතකල කෙටි කාලසීමාව තුල එවකට උපකුලපති මහාචාර්ය සම්පත් මහතා රෙදිපිලි ප්‍ර‍වර්ධන අධ්‍යනාංශයේ හි එවකට අංශ ප්‍ර‍ධානීව සිටි ආචාර්ය ගුණසිංහ මහතා සහ තොරතුරු තාක්ශණ අංශයේ ආචාර්ය ලෝචන රණතුංග වැනි මිනිසුන් හදුනා ගැනීමට ලැබීමද ඇසුරු කරන්නට ලැබීමද මා ලද මහගු අවස්ථාවක් යැයි මා සිතමි.
මා සමඟ කටයුතු කල ඉන්ටර්න්වරු කිහිපදෙනාව මතක් නොකලහොත්   එය අතිවිශාල අඩුපාඩුවක් වන්නේය. පුරා මාසයක්ම මා සමග වලේ කැන්ටිමෙන් කමින් බොමින් ඉඩකඩ ඇති වේලාවක කජුකැලයේ මෙන්ම සමස්ථ සරසවියේම සුන්දරත්වය මට පෙන්වා දුන්නේ සත්සර හා රුවන් ඇතුලු මේ මිතුරු මිතුරියන් පිරිසයි.එක් දිනක් මාධවන් සමග බොල්ගොඩ ගගේ ඔරු පැද්ද ආකාරය අදටත් මැවී පෙනේ ඒ සදහා මග පෙන්වූ Rowing Club හි මුල් පුරුකක් වු මාධවන් අද යාපනය කන්කසන්තුරයේ පදිංචිව සිටී.
සත්සර ඕවිටිගල 
(Electronic & Communication, කාවින්දි අබේසිංහ (Textiles, මාධවන් රාමසාමි (Civil , දුමානි ජයවීර (Information Technology, රුවන් තාරක ප්‍ර‍භාෂ්වර (Electronic & Communication) , නිම්සරා ඩයස් (Computer Science, සුමිත්ත කළණසිරි (Computer Science) , නිවන්ත ප්‍රේමතිලක (Information Technology) , තේමිය මධුභාෂිත (Electronic & Communication මේ සටහන තබන අවස්ථාව වන විට මොහුන්ගෙන් සරසවියේ සිටින්නේ සිව්දෙනෙකු පමණි.
මාසයක කාලයෙන් පසුව මම සියල්ලන්ගෙන් සමුගෙන යලිත් අන්තර්ජාතික අංශයට පැමිණියද විටින් විට විශ්වවිද්‍යාල ශාඛාවට ගොස් රාජකාරී කර ඇතිමි. ඒමගින් ඇතිකර ගත් හිතමිතුරු කම් අතිමහත්ය.
වෙනදාට නම් මොරටුව සරසවිය ඇතුලට යාම මාහට ඉතා ප්‍රීතියක් ගෙනදෙන්නක් වුවද දැන් දැන් එහි යාමට මාගේ පය එසවෙන්නේ නැත. එහි දැන් ඇත්තේ ඉතාමත් වේදනා ගෙනදෙන මතකයක්ය. සිහිවන විටදීත් මගේ හදවත විශාල වේදනාවකින් පෙලෙන්නට වෙයි. කලකට පසුව මේ සටහන තබන්නට සිත් වුනේ ආසන්න දිනක මෙයට පා නගන්නට සිදුවු නිසාවෙනි. ඒ ලංකා බැංකුවේ මිතුරකුගේ ඉල්ලීමකට කලෙහිගුණ දන්නා නිසා බෑ කියන්නට බැරි නිසාවෙන්ය. 

කජු කැලේට පායපු හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අදුරුවල වසිනා කල
සරසවිබිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
නිතර තනිය දැනෙන්න...

උපකුලපති මහාචාර්ය සම්පත් තෙන්නකෝන් මහතා දැන් සරසවියේ නැත. නිවන්තට ඇමතුමක් දී ඔහු සමඟ ගොස් තොරතුරු තාක්ෂණ දෙපාර්ථමේන්තුවේ ආචාර්ය ලොචන රණතුංග මහතා හමුවී කතාබහකර පැරණි මතකය අවදිකර ගතිමි ඔහුට මා ගැන මතකයක් නොවීය. ගුණසිංහ මහතා මුණගැසීමටත් ඇගලුම් දෙපාර්ථමේන්තුව  ආසන්නයටම ගියත් ඒ අංශය තුලට යාම මට සිත් වේදනා ගෙනදෙන්නක් වන නිසාවෙන් මද වේලාවක් ඒදෙස යම්දෝ නොයම්දෝ කියා බලාසිට නොගොස් ආපසු පැමිණියෙමි. මා සමග සිටි ඉන්ටර්න්වරු අතරින් මුණගැසුණේ නිවන්ත හා නිම්සරා පමණි. තේමිය ක්‍රිකට් ගසන්නට ගොස් කකුල තලාගෙනය. දුමානි දේශණයකට සහබාගී වෙමින් සිටි අතර අනෙක් අය මේ වන විට සරසවිය හැරගොසින්ය. පැරා සහ ජික්කිත් ටෙම්පරි ලෙක්චර් පෝස්ටු ලබා මානවකයින්ට දැනුම බෙදමින් සිටින්නාහ. අබ්ලික් ප්‍ර‍ශ්ණ වලට අබ්ලික් උත්තර දුන් ලොකු දොස්තර නෝනාගේ සහ මාධවන්ගේ ඇඟ කිලිපොලා යන ඔරු පැදීම ඇතුලු තව තවත් මතකයන් ඉදිරියට.............

පසු සටහන
  • මහාචාර්ය සම්පත් මහතා වරක් ආචාර්ය ගුණසිංහ මහතා හරහා මට මිල මුදලටවත් කරගත නොහැකි උපකාරයක් කරදුන්නේය. මා මුණගැසුණානම් ඔහු අනිවාර්යෙන් ඒ පිලිබදව විමසනවා සිකුරුය. එයට දීමට වන පිලිතුර ඇසූ විට ඔහුට කෝපයකුත් මගේ හිතට දැඩි වේදනාවක්ද ගෙනදෙන්නක් මෙන්ම කෝපයත් වේදනාවත් එකතු වී තුන්වන පාර්ශවයේ අයෙකුට අගතියක්ද සිදුවිය හැකි නිසාවෙන් ඔහුගේ අධ්‍යයන අංශයට මම නොගියෙමි.රුවන් සමග සිටියදී පැරා දෙපාර්ථමේන්තුවෙන් එලියට එනවා දුටු නිසා අප එතනින් නික්ම ආවෙමු.

ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

Monday, June 13, 2016

නිර්සත්වයෝ අවසන් කොටස - යලි අපි හමුවෙමු මතු සසරේ

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
පස්වන කොටස
හයවන කොටස
එත් සමගම අධිකරණයේ මද නිහැඩියාවක් රජයන්නට විය. එක්වරම අධිකරණ ශාලාවේ සියලුම විදුලි බුබුලු නිවී ගිය අතර සියලුම විදුලි පංකා අක්‍රීය විය. යමරජු ජූරිය සහ අනෙත් අය සිටින ප්‍රදේශය පමණක් ආලෝකමත් වන ලෙස විදුලි බුබුලු දැල්වී තිබුණි. අමිහිරි භයානක හඩක් පසුබිමෙන් ඇසෙන්නට වූ අතර එ් සමගම යමුරජු ඇතුලු අධිකරණ ශාලාවේ නිලධාරීන් සියල්ලන්ම තම අසුන් වලින් නැගීසිටියෝය. යමරජු තම දේශණය අරබන කරන ලදී.
අපගේ අවසන් තීන්දුවට අනුව හසරංග නැමැති මේ නිර්සත්වයා මනුෂ්‍ය ලෝකයේ සිටිනවිටදී බොහෝ පින්දහම් කර තිබෙනවා.අනුන්ට තමන්ගේ වැඩ ගැනවත් නොසිතා සමහරුන්ට මිල මුදලටවත් කරගත නොහැකි උදව් පවා කර තිබෙන බව අපගේ රහස් වාර්ථා අනුව තහවුරුවනවා. ඔහුට එල්ලවූ සියදිවි නසාගැනීමේ චෝදනාවට වරදකරු බවට ජූරි සබාව තීන්දු කලත් මම ඔහුව ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර හරිනවා.හසරංග නැමැති මේ නිර්සත්වයා කරගෙන ඇති පින් බලය හේතුකොට ගෙන මනුෂ්‍ය ලෝකයේ ශ්‍රී ලංකාද්වීපයේ බටහිර පලාතට මායිම්ව දකුණු අලුත්කූරු කෝරලයේ සියලු සැප සම්පත් සහිතව උසස් මිනිස් ආත්මයක උප්පත්තිය ලබන්නට ඔබට අවස්ථාව ලබා දෙනවා.

සුභා නැමැති නිර්සත්විය අවසන් වරට හසරංග නිර්සත්වයාට පැවසූ වදන් නිසා කලබලයට පත්ව හසරංග නැමැති නිර්සත්වයා හදිසි අනතුරකට පත්ව මියගිය බව හොදින් පැහැදිලි වන කාරණයක්. නුඹට ඔහු ආදරය කල තරමටම ඔබත් පෙරලා ආදරය කලානම් මෙවැනි සිදුවීමක් නොවන බව අපගේ ඒකමතික පිලිගැනීමයි. මම පෙරද පැවසූ පරිදි ඔබ මවගේ තීරණයට අකමැතිනම් මවගේ තීරණයට විරුද්ධ වීමට ඔබට හැකිවිය යුතුයි එ්ම නිසා බැලු බැල්මට පෙනෙන්නේ නුඹ හසරංග නැමැති නිර්සත්වයාට බොරුවක් සිදුකල බවයි එය එසේනම් මේ අපායේ බොහෝ කලක් දඩුවම් විදීමට සිදුවන වැරැද්දක්. නමුත් ඔබගේ අසරණකමත් අනුන්ගේ කේලාම් කීමත් නිසා ඇතිවූ තත්වයත් සලකා බලා හසරංග නැමැති මේ නිර්සත්වයාගේ ඉල්ලීම නිසාත් මම ඒ දඩුවම වෙනස් කරනවා. ඔබටත් ශ්‍රී ලංකාද්වීපයේ පෙර උත්පත්තිය ලද පෙදෙසට හාත්පසින් වෙනස් දේශගුණික තත්වයක් සහිත වියලි කලාපයට අයත් අනුරාධ ග්‍රාම නමින් ප්‍ර‍චල ශ්‍රී මහා බෝධිය වැඩවසන උතුම් වු ශුද්ධ නගරයේ හසරංග නිර්සත්වයා අනතුරට ලක්වු පරිපාලන කොට්ටාශයට ආසන්න ප්‍රදේශයක සියලු සැප සම්පත් සහිතව කාන්තා මිනිස් ආත්මයක යලිත් උප්පත්තිය ලබන්නට අවස්ථාව මම ඔබට ලබා දෙනවා.
නුඹලා දෙදෙනා අවංකවම ප්‍රේමකලත් එය සාර්ථක නොවුනේ වැඩිහිටියන්ගේ අමණා තීරනයක් නිසාවෙන් බව පැහැදිලිව පෙනෙන්නක් එම නිසාවෙන් ඔබ දෙපලට වසර තුනහමාරක වයස් පරතරයක් සහිතව මතු ඉපදීමටත් ඉන්පසු යථාකාලයේදී කොළඹට ආසන්න සරසවියකදී මුණගැසීමටත් ඉක්බිති බාධාවකින් තොරව ඉදිරි ජීවිත කාලය ගෙවීමටත් අවස්ථාව ලබාදෙනවා. මෙතැන් පටන් ඔබ අපායේ ගතකරන සෑම පැයක්ම මනුලොව වසරකට සමාන වෙනු ඇත. හසරංග නැමැති මේ නිර්සත්වයාට අපායේ සම්මත වේලාවෙන් අද අලුයම දෙකයි තිහටත් සුභා නැමැති නිර්සත්වියට අලුයම පහටත් මේ අපායෙන් නික්ම මනුලොවට යාමට හැකියි. එසේනම් ඔබ දෙදෙනාට මේ අපායෙන් පිටවී යාමට අවසරයි. 

අමරාවතී නැත්නම් සුභා නිර්සත්වියගේ මව වන නුඹට හිමිවිය යුතු අපාගතවීමේ දඩුවම සොබාධර්මයා විසින් ඉවත්කරගෙන තිබෙනවා. නුඹ මේ දියණිය කුඩාකල සිට හදාවඩාගත් පිනෙන් යලිත් මිනිස් ආත්මයක ඉපදීමට හැකියාව තිබෙනවා.නමුත් ඔබකල පව ගෙවෙනාතුරු අපාය අච්චුකරුවන්ගේ ආදර්ශ විදුහලේ නිලධාරිනියක ලෙස ඔබ සේවය කල යුතුයි. ඉන්පසුව ඔබටත් මනුශ්‍ය ආත්මයක උප්පත්තිය ලැබීමට හැකියි.විශේෂයෙන් සදහන් කල යුතු කාරණාවක් වන්නේ නුඹට මේ පව නිසාවෙන් යලිත් කිසිදු ආත්මබවයක පව ගෙවෙනාතුරාවට ගැහැණු දරුවෙකුට මවක් වීමට නොහැකියි. 
එකදිගටම කියවා මහන්සි නිසා යමරජු වතුර ටිකක් බොන්නට මදකට තම දේශනය අත්හිටෙව්වේය.මීලගට ඉතිරිවී සිටියේ ගුරුවරියත් ඇගේ ලොකු පුත්‍ර‍යාත් පමණි. මම අමරදාස කලුකෝට් දිහා බැලුවෙමි ඔහු මා දෙස බලා හිස දෙපසට සැලු අතර මම අඩමාණයට මෙන් යමක් තේරුම් ගතිමි. 
යලි දේශණය ඇරබූ යමරජු සුමනාවතී නැමැති මේ නිර්සත්විය අසත්‍ය කේලාම් අසත්‍ය චරිත සහතික නිරන්තරයෙන්ම ලබාදීලා තියෙනවා එම ඉතා බරපතල චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී තිබෙනවා නුඹ හතරපෝයටම සිල්ගත්තත් ඔබ කර ඇත්තේ පව් පමණයි. අනුන්ගේ හැම කුණක්ම හොයලා කේලාම් කියලා එක එකා කොටවලා ඔබ කරගෙන ඇති පවු අනන්තයි අප්‍ර‍මාණයි. ප්‍ර‍ධාන වශයෙන් නුඹ මෙහි සිටින පෙම්වතුන් වෙන් කරන්නටත් විශාල දායකත්වයක් සපයා තිබෙන බවත් ඔප්පුවී හමාරයි. නුඹ මනුලොව ගුරුවරියක් කියන්නටත් පිලිකුල් මෙන්ම තමා දුයිෂෙන් පරපුරේ සමස්ථ ගුරුවරුන්ටම අවනම්බුවක්. එම නිසාවෙන් සුමනාවතී වන නුඹට මේ අපායේ ඇති ඉහලම දඩුවම් ලබාදීමට මම නියෝග කරනවා එය මනුලොව වසර පණහක් දක්වා ක්‍රියාත්මක වනවා ඇත. ඉන් පසුව කුසල් ශක්තිය මත නිදන්ගත ලෙඩරෝග රැසක් සමග දුක්ඛිත පහත් මිනිස් ආත්මයක උපත ලැබීමට හෝ මළපෙරේතියක ලෙස ප්‍රේත ආත්මයක ඉපදීමට හැකියාව තිබෙනවා.
අවසාන වශයෙන් සම්පත් වන නුඹ දියයටින් ගින්දර ගෙනගොස් දෙපැත්ත කෑමක නිරතවෙලා තිබෙනවා .දෙදෙනා කෙටවීමට බොරු බේගල් ඇදබෑම නිසා මොහුට ලෝදිය පෙවීමේ දඩුවම ලබාදී අවසානයේ යලිත් පහත් මිනිස් ආත්මයක් ලබා මනුලොවට යැවීමට නියෝග කරනවා මොහුට තම පාපය ගෙවෙන තුරු කිසිම ආත්ම බවයක විවිාහයක් සිදුනොවන්නටත් මම නියෝග කරනවා. 
මේ සියලුම නිර්සත්වයින් දැනගත යුතුයි මිනිස් ආත්මයක් යනු එක්තරා කඩයිම් අවස්ථාවක් බව තමාගේ ඊලග ආත්මය සුබදායී එකක්ද දුක්ඛදායී එකක්ද යන්න තීරණය වන්නේ තමා කරන්නා වු පින් පවු අනුවයි. අමනුස්සයන්ට ප්‍රේතයන්ට තිරිසනුන්ට පිං කරන්න බැහැ. අනෙක් අතට දෙමාපියන් දරුවන්ගේ කැමැත්තට ඉඩ දියයුතු වන්නේ දෙමාපියන් කෙටිකලකින් මියයන නමුත් දරුවන් ජීවිත කාලයක් ඒ සහකරුවා සමග ජීවත් විය යුතු නිසාවෙනි. පොරන්දම් ගලපලා කරන මඟුල් කැඩිලා යන්නත් හේතුව නොගැලපීම බව සියලුදෙනා සිහියේ තබාගත යුතුයි. ඒ වාගේම අන් අයගේ සතුටට දියුණුවට බාදා කරන කේලම් බොරු පවසන්නන්ට මෙන්ම මත්ද්‍රව්‍ය අවිආයුධ ව්‍යාපාර කරන්නන්ටද අවසානයේ අයිති වන්නේ තිරිසන් ආත්ම හෝ පහත් මිනිස් ආත්ම බව සිහියේ තබාගත යුතුයි. එසේ නම් උසස් මිනිස් ආත්ම ලද නුබලා නොපමාව පිං දහම් කරන්නට සිහියේ තබාගත යුතුයි. මේ තීන්දුව මොවුන්ගේ කර්මයේ සටහන් කරන ලෙස රෙජිස්ටාර් වරයාට නියම කර යමරජු තීන්දුව අත්සන් කල පෑන කඩාදමා ආසනයෙන් බැසගියේය.

ඒ වනවිට වේලාව අපායේ සම්මත වේලාවෙන් අලුයම එකට ආසන්න විය. අමරදාස කලුකෝට්තුමත් මා හිතාදර චන්දරේ අයියාත් පැමිණ මා හට සතුට පලකල අතර අච්චුලද සුභාගේ මව හැර අනෙත් දෙදෙනා රැගෙන යනු මා බලාසිටියෙමි. කෙමෙන් කෙමෙන් සුභා නංගී වෙත ගිය මා ඇයවද අනෙක් දෙදෙනාවද කැටිව යලිත් ගිනිකන්නාස් ඉන් වෙත ගියෙමි. අප දෙදෙනාට කතාකරන්නට ඉඩදී චන්දරේ අයියාලා පිටත් වුයේ අලුයම දෙකට යලි පැමිණෙන බව මට පවසාය. වසර විස්සකින් මුණගැසුණු අපට කතාකරන්නට බොහෝ දේ තිබුණි. සොදුරු පේරාදෙණිය සරසවියේ ගතකල ඒ මතකයන්ද අපේ සමකාලීන් මිතුරන් ගැනද අප දෙදෙනා අත්වැල් පටලා තනිකුඩයෙන් ගිය ගමන් පිලිබදවද යලිත් ආවර්ජනය කර රසවින්දෙමු.
"උඹව මට නොලැබුනොත් මම උඹව මරනවා
කිව්ව තරමට මම ඔයාට ආදරේ කලා..
එත් උඹව මරන්න තියා උබේ ඇස්වලින් වැටෙන
කදුලක්වත් මට දරාගන්න බෑ..
එහෙම ආදරේ කරපු මට උඹ නැතුව
ජීවත් වෙන එක හිතාගන්න බෑ..
මම උඹව ලෝක දහස් ගාණක හොයනවා
ආත්මභව දහස්ගාණක පතනවා
උඹ මගේ වෙනකම්ම".....

වේලාව ආසන්න වෙත්ම චන්දරේ අයියාත් සුභා නංගීත් සමග යලිත් ආපායේ ආගමන විගමන කාර්යාලය වෙත ගියෙමු. පිටවීම් පර්යන්තනයේ ඇත්තේ දෙපස මල් පිපුන මීදුමින් වැසී ඇත් මාර්ගයක්ය. එහි සිටි ආගමන විගමන පාලකවරයා අප පිලිගෙන පලමුවෙන්ම මගේ නඩුතීන්දුව ප්‍ර‍කාර‍ව දත්ත සකස්කර අලුයම දෙකයි තිහට ආසන්න වත්ම දැන් පිටත් වී යාමට හැකි බව දැන්වීය.
මම චන්දරේ අයියාටත් අමරදාස ලෝයර් මහතා නොහොත් කලුකෝට් හටත් මාහට කල උපකාර වෙනුවෙන් ස්තූති කලෙමි. සුභා නංගීව මම සිප වැලදගෙන අවසානයේ පිටවීමේ මාර්ගය ඔස්සේ මම ඉදිරියට පියමං කෙරුවේමි. දෙපස සිටි ආරක්ෂක නිලධාරීන් හිස නවා ආචාරකරන්නට වු අතර කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දී මීදුම වැඩි වු අතර ඉතාමත් සැහැල්ලුවෙන් පාවීයන්නාක් මෙන් දැනෙන්නට විය.
එසේ ඉදිරියටම ගියේ ශ්‍රී ලංකාව නැමැති පුංචි රටේදී කොතනකදී හෝ මතු කවදාහෝ ඉරණම් ප්‍ර‍කාරව සුභා නංගීව යලි හමුවීමේ ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන‍ය.
*****නිමි*****
පසු සටහන
  • දීර්ඝ ගමනක් අවසන් වන්නේ ප්‍රේමවන්තයින් මුණගැසීමෙන් යැයි පැරණි කියමණක් ඇත නමුත් සැබෑ පෙම්වතුන්ට හණමිටි අදහස් ඇති වැඩිහිටියන්ගේ අමනා ක්‍රියාවන් නිසා එක්වන්නට ලැබෙන්නේ නැත ඒම හේතුව නිසා කොපමණ පිරිසක් අසරණව රහසේ කදුලු සලනවා ඇත්ද එබැවින් මෙය ඔබේද මගේද කථාවයි.
  • කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්‍ර‍හ කෙරෙන්නක් බව බහුශ්‍ර‍ැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්‍ර‍හ කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැත එම නිසා මම මගේ මනැස හා නැගෙන සිතුවිලි පමණක් විග්‍ර‍හ කරගතිමි.
  • මෙම කථාවේ හමුවු පුද්ගලයින් හදුන්වන චරිත නාමයන් පමණක් කල්පිත වන අතර සියලුම ප්‍රදේශයන්ද චරිතයන්හි විස්තර වන චරිත ස්භාවයන්ද සියල්ලම මට හමුවී දැක ඇති සත්‍ය ඒවාම වෙයි.

ඒ වගත් මෙස්මැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....................

Friday, June 3, 2016

නිර්සත්වයෝ හයවන කොටස - අන්තරාය අඩවියක

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
ඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන නිහඩතාවය බිදමින් මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට ඇය වරදකාරිය වන බවයි. මේ පිලිබදව තම අවදානය විශේෂයෙන්ම යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවායැයි යමරජු පවසා සිටි අතර මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි. මීලගට සාක්ෂි දීමට කැදවූයේ විශ්‍රාමලත් ගුරුවරියක වුද මාගේ ලගම නෑදෑයෙකු වූද අපේ ගමේ රොයිටර් රිපෝටර් බදුවූ කාන්තාවයි.
ඇය නැලවි නැලවී පැමිණ සාක්ෂි කූඩුවට නැග වටපිට බලන ඇසිල්ලෙන් අපායේ නිළ පුවත්පත වූ "ගලේ කෙටුව අකුර" පත්‍තරෙන් වගේම "ලෝදිය" හා වෙනත් අන්තර්ජාල මාධ්‍ය නියෝජිතයින් මෙම නඩුවේ අවස්ථා ජායාරෑප ගතකරන්නට විය. පලමුව තමා ගැන කෙටි හැදින්වීමක් කරන මෙන් ඇයට නියෝග කරන ලදී.
"ගරු ස්වාමීණී මම නමින් සුමනාවතී වන අතර මනුලොව ප්‍ර‍ාථමික අංශයේ විශේෂ අධ්‍යාපන ගුරුවරියක් විදිහට සේවය කලා වයස අවුරුදු 64 වන විටදී අධික වැසි දිනක අකුණුසැරයක් වැදීම හේතුවෙන් මියගියේ. මම බොහෝ පින් දහම් කරපු කෙනෙක් නමුත් මේ අපායට මා පැමිණි හේතුව මම දන්නේ නෑ. වැරදීමක් සිදුවුනා විය හැකියි."
මගේ හිතමිතුරු කලුකෝට් ලෝයර් කොටා විදුලි වේගයෙන් ඇය වෙත ලගාවිය. ඉන් පසුව එලැබියේ හරස් ප්‍ර‍ශ්ණ ඇසීමේ අවස්ථාවයි.
කලුකෝට් - ඔබ මෙතැන සිටින හසරංග නැමැති නිර්සත්වයාව අදුරනවාද?
සුමනාවති ඔහු අපේ ඉතාදුරින් නෑදෑවෙන අයෙක් මගේ මනුලොව මලේ නිවසට ආසන්නයේ පදිංචිව සිටි අයෙක්
කලුකෝට් - ඔබ පැවසුවා මේ ප්‍ර‍ජාත්‍රන්තවාදී එක්සත් අපාය මහාධිකරණයට පැමිණීමට හේතුව දන්නේ නැතිමුත් බොහෝ පින් දහම් කලාය කියලා තමා සත්‍යයක්ද පැවසුවේ?

සුමනාවතී - මම හතර පෝයටම සිල් ගත්තා ස්වාමීණී අසරණයන්ට උදව් කලා දහම් පාසලේ දරුවන්ට ඉගැන්නුවා එවැන්නක් කරලත් අපාගත වුනේ අයිද කියන එක මටත් ගැටලුවක් ස්වාමීණී.
කලුකෝට් - තමා මෙහි සිටින හසරංග නැමැති නිර්සත්වයා පිලිබදව කිසිවෙකුටත් අසත්‍ය තොරතුරු ලබාදී තිබේද?
සුමනාවතී - මම කාටවත් බොරු කියලා නෑ. මම පව් වැඩ කරන්නේ නෑ ස්වාමීණී
මේ අතර සියලු දෙනාගේ රහස් ඇතුලත් රහස් වාර්ථාව ප්‍ර‍ජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ රහස් පොලිසිය මගින් කලුකෝට් වෙත ලබාදුන් අතර සුමනාවතීගේ රහස් වාර්ථාව ඉවතට ගත් මාගේ ලෝයර් තෙමේ විවෘත උසාවිය මෙසේ අමතන්නට විය
ගරු ස්වාමීනී මේ සිටින සුමනාවතී නැමැති නිර්සත්විය උපාසක වේශයෙන් බොහෝ පවු වලට සෘජුවම හා වක්‍ර‍ව දායක වු තැනැත්තියක් කොටින්ම තමන්ගේ දරුවගේ කසාදයටත් බලපෑම් කරලා ඒ දරුදෙන්නාවත් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා ඒ සම්බන්දව මෙන්ම මේ සියලු අයගේ රහස් වාර්ථා පිලිබදව සලකා බලා අවසාන තීන්දුව දෙන මෙන් ඔබතුමාගෙනුත් ජූරි සාබාවෙනුත් ඉල්ලා සිටිනවා යැයි පවසා කලුකෝට් නිහඩ විය.
ඉන්පසුව සුභාගේ මව සහ සුමනාවතීගේ ලොකු පුත්‍ර‍යා දුන් සාක්ෂි ලබාදුන්නද මම ඒ කිසිවකටත් සවන් යොමු නොලෙමි.
සියලු විමසීම් අවසානයේ යමරජු ජූරි සහිකයන් අමතා ජූරි සබාවේ මහතුනි ඔබ දැන් මේ වනතුරු සවන් දුන් සාක්ෂිද ලබාගත් රහස් වාර්ථාද අනුව සාක්ච්චා කර තීරණයක් ගැනීමට ඔබලාගේ රහස් කුටිය වෙත යාමට අවසරයි ඒ අතර උසාවිය ජූරියේ තීරණය පැමිණෙන තුරු කල්තබනවායැයි පවසා ආසනයෙන් බැස නික්ම ගියේය. මදක් වටපිට බලනා විටදී මම දුටුවේ අන්තිම පේලියේ අසුන්ගෙන සිටි චන්දරේ අයියාවය. මමත් චන්දරේත් කලුකෝට් මිතුරාත් සමග "ගිනිකන්නාස් ඉන්"ආපනශාලාවට ගියේ ඉදිරියට කුමක් වෙයිද යන්න කතාකර ගැනීමටය.
ඒ අවන්හලේම තවත් මේසයක සුභා තනිවම අසුන්ගෙන සිටිනවා මම දුටුවෙමි. ක්ෂණිකවම මගේ මතකය අතීතයට දිවගියේ මටද නොදන්වාය. පේරාදෙණිය වූස් කැන්ටිමේත් අතරින් පතර කොලඹ ලේක්හවුසිය ඉදිරිපිට ඇති ආහාර අලෙවි සැලෙන්ද එකට එකවී ආහාර ගනිමින් කතාබස් කල සොදුරු අතීතය සිහිවී මගේ නෙතගට කදුලු නැගුනේ නිරායාසයෙනි
"මල්ලී අපායේ විතරක් නෙවෙයි ඕනෑම තැනක ස්භාවධර්මයේ නීතිය තමයි සියදිවි නසා ගැනීම දරුණු දඩුවමට යටත් විය යුතු වරදක් බව. ඒත් මේ වගේ ලව් කේස් එකක් මතක ඇති කාලෙක මෙහෙට ආවේ නෑ. ඔය හිටපු ජූරියේ උන්ට අනුන්ගේ හිත් කියවන්න පුලුවන් කවුරු මොනතරම් බොරු කිව්වත් උන්ට බොරු කරන්න බෑ. සාමාන්‍යයෙන් අපායේ පවු කාලය හමාර උනාම තිරිසන් ආත්මෙක හරි පහත් මිනිස් ආත්මෙක හරි තමා ඉපදෙන්නේ එකයි නීතිය. ඒත් ඔයා කරලා තියෙන පින් දහම් අනුව වැඩි කරදරයක් වෙන එකක් නෑ ඒත් අර ටීචර්ටයි එකිගේ පුතාටයි කෙල්ලටයි අම්මටයි මොනවා වෙයිද කියලා නම් කියන්න බෑ අපි බලමු මොනවා වෙයිද කියලා" යනුවෙන් පැහැදිලි කිරීම කලේ කලුකෝට් හෙවත් අමරදාස අබ්බකාත්(මැරෙන්න කලින්) තුමාය.
නිහැඩියාව බිදමින් ඈතින් ඇසුනේ සීනු නාදයකි. එනම් එයින් කියවෙන්නේ අපගේ ඉරණම තීන්දු කර ඇති බවයි. අපි ඉක්මන් ගමනින් අධිකරණ ශාලාවට ගියෙමු. අධිකරණය අසල දිව්‍යලෝකයේ සිට පැමිණි ආරක්ෂක අනු කණ්ඩයක් අධීකරණය වටා යොදවලාය ඊට අමතරව විශාල පිරිසක් ජූරි සහිකයන් රැදී සිටින කොටස අසල රාජකාරී කරනවාය. ජූරි සහිකයන් දසදෙනාම පැමිණ අධිකරණයේ අසුන් ගත් පසු මහාධිකරණ විනිසුරු වන යමුරජු අසුන්ගත්තේය. ඔහු ජූරිය අමතා ඇසුවේ මේ නිර්සත්වයින් පිලිබදව සලකා බලා විමසා තීරණයක් ගත්තේද? එය ඒකමතික තීන්දුවක්ද නැතහොත් බෙදුනු තින්දුවක්ද කියාය.
නැගීසිටි ජූරි මණ්ඩලයේ සභාපති වරයා තමන් සියලුම සාක්ෂිද සියලුම රහස් වාර්ථාමෙන්ම එක්සත් අපාය ජනරජ පවු පිං බැංකුවේ ගිණුම් වාර්ථාද සලකා බලා තීන්දුවක් ගත් බවත් එය දහයට බිංදුවක් ලෙස ඒකමතිකව ලබාදෙන තීන්දුවක් බවත් පවසා සිටියේය.ඉන්පසුව තම කටහඩ අවදි කල යමරජු විවෘත උසාවියේ මෙසේ පවසා සිටියේය.
"මේ සියලුම නිර්සත්වයින් දැනගත යුතුයි මිනිස් ආත්මයක් යනු එක්තරා කඩයිම් අවස්ථාවක් බව තමාගේ ඊලග ආත්මය සුබදායී එකක්ද දුක්ඛදායී එකක්ද යන්න තීරණය වන්නේ තමා කරන්නා වු පින් පවු අනුවයි. අමනුස්සයන්ට ප්‍රේතයන්ට තිරිසනුන්ට පිං කරන්න බැහැ.සෑමවිටම දෙමාපියන් ගන්නා තීරණ නිවරදි වන්නේද නැහැ. යමෙකු විවාහ විය යුත්තේ තමන්ට ගැලපෙන අයෙකු සමග මිස අනුන්ට අවශ්‍ය අයෙකු සමඟ නොවෙයි. තමා අකමැති කෙනෙකුට බලෙන් විවාහ කර දෙන්නට යනවානම් එයට විරුද්ධ වන්නට නිර්සත්වියන්ට කොන්ද පණ තිබිය යුතුයි. 
අනෙක් අතට දෙමාපියන් දරුවන්ගේ කැමැත්තට ඉඩ දියයුතු වන්නේ දෙමාපියන් කෙටිකලකින් මියයන නමුත් දරුවන් ජීවිත කාලයක් ඒ සහකරුවා සමග ජීවත් විය යුතු නිසාවෙනි. පොරන්දම් ගලපලා කරන මඟුල් කැඩිලා යන්නත් හේතුව නොගැලපීම බව සියලුදෙනා සිහියේ තබාගත යුතුයි. ඒ වාගේම අන් අයගේ සතුටට දියුණුවට බාදා කරන කේලම් බොරු පවසන්නන්ට මෙන්ම මත්ද්‍රව්‍ය අවිආයුධ ව්‍යාපාර කරන්නන්ටද අවසානයේ අයිති වන්නේ තිරිසන් ආත්ම හෝ පහත් මිනිස් ආත්ම බව සිහියේ තබාගත යුතුයි.
ඉන්පසුව නැගීසිටි අධිකරණයේ රෙජිස්ටාර් යමයා විවෘත අධිකරණයේ මෙසේ ප්‍ර‍කාශ කලේය. හසරංග නැමැති නිර්සත්වයා අපායේ දණ්ඩ නීති සංග්‍ර‍හයේ 224/බී වගන්තිය ප්‍ර‍කාරව තමාට එල්ල වු සියදිවි නසාගැනීමේ චොදනාවට වරදකරු බවද අනෙක් නිර්සත්වයින්ද තමාට එල්ල වු සියලු චෝදනාවන්ට වරදකරුවන් වන බවද ජූරි සහිකයන්ගේ ඒකමතික තීරණයයි. මම සුභා නංගී දෙස බැලුවෙමි ඇගේ මුහුණද මැලවී ගොසින්ය.ඇගේ බියපත් වූ මුහුණින් මා දෙස බැලූ කල්හී ඇය පිලිබදව දැඩි අනුකම්පාවක් මාහට ඇතිවිය. අපේ අනෙත් වූදිතයන්ගේ මුහුණුද රෝදයට අසුවු කජුලෙලි මෙන්ය.මට චන්දරේ අයියාගේ ලෝදිය හැලියත් ජෝන් බාස්ගේ කටු ඉබුලත් සිහියට නැගුණි.
 "යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ 
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ 
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා

සෑම ප්‍රේමවන්තයෝ රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා 

සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ 

 උදාර ආදරේ අමා"
එත් සමගම අධිකරණයේ මද නිහැඩියාවක් රජයන්නට විය. එක්වරම අධිකරණ ශාලාවේ සියලුම විදුලි බුබුලු නිවී ගිය අතර සියලුම විදුලි පංකා අක්‍රීය විය. යමරජු ජූරිය සහ අනෙත් අය සිටින ප්‍රදේශය පමණක් ආලෝකමත් වන ලෙස විදුලි බුබුලු දැල්වී තිබුණි. අමිහිරි භයානක හඩක් පසුබිමෙන් ඇසෙන්නට විය එ් සමගම යමුරජු ඇතුලු අධිකරණ ශාලාවේ නිලධාරීන් සියල්ලන්ම තම අසුන් වලින් නැගීසිටියෝය.

*******මතු සැබැදි*******
-----ඉදිරියට අවසන් කොටස -----


ඒ වගත් මෙසේම වෙනදා මෙන් අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි........